Monday, May 6, 2024

General line - 0115112241

කොරල් පරයක වැදී ඉන්ධන රැගත් නෞකාවක් අනතුරට ලක්වේ : ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක (PHOTOS)




ඉන්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

බොරතෙල් ටොන් 4,000ක් පමණ රැගත් මෙම නෞකාව පසුගිය ජුලි මස 25 වෙනිදා මොරිෂස් දුපත ආසන්නයේදී අනතුරට ලක්වුවා.

MV Wakashio යනුවෙන් නම් කර ඇති මෙම නෞකාව කොරල්පරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඒ හේතුවෙන් නෞකාව දෙකඩ වීමේ අවධානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෝසම් කාලගුණ තත්ත්වයේ වර්ධනයත් සමග ඉදිරියේදී නෞකාවේ පවතින අනෙක් ඉන්ධනද සාගරයට මුසුවීමේ අවධානමක් පවතින බවයි මොරිෂස් රාජ්‍යයේ අගමැතිවරයා සඳහන් කළේ. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දීය සාගර කළාපයට එය දැඩි තර්ජනයක් වනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

මේ අතර කාන්දු වූ ඉන්ධන හේතුවෙන් මොරිෂස් දුපත් සමුහය ආසන්නයේ පිහිටා ඇති වෙරළ තිරයට සහ කොරල්පර ඇතුළු සමුද්‍ර ජීවීන්ට දැඩි හානියක් ගෙන දෙමින් සිටින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මෙම මහ විනාශයෙන් පරිසර පද්ධතිය සහ මොරිෂස් දුපත් වෙරළ තීරය බේරා ගැනීම සඳහා දහසකට අධික සහන සේවකයින් සාගරයට මුසුවූ බොරතෙල් ඉවත් කිරිමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර ප්‍රංශය ද සිය සහන කණ්ඩායම් ඒ සඳහා එක් කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.