Monday, May 6, 2024

General line - 0115112241

ජනපති ලංකාගමට පැමිණෙයි




ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප‍්‍රදේශයට ගුවනින් පැමිණියා. ඒ, එම මාර්ගය ඉදිකිරීමෙන් සිංහරාජ වනාන්නතරයට දැඩි පරිසර හානියක් සිදුවන බවට පරිසරවේදීන් අනාවරණ කිරීමත් සමගයි. 

මෙම මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත පරිසර පද්ධතියට යම් හානියක් සිදුවන්නේ දැයි, වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර මාර්ග සංවර්ධන අධිකාරියට සහ මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබුණා. 

එම වාර්තා ලැබෙන තෙක්, සිංහරාජ වනාන්තරය හරහා සිදුකෙරෙන නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන ලෙසයි ජනාධිපතිවරයා ඉකුත් දා නියෝග කළේ. මේ අතර, ආනවිලූන්දාව රම්සා තෙත්බිම් අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. ආනවිලූන්දාව රම්සා තෙත්බිම් අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධියට සම්බන්ධ ඩෝසර් යන්ත‍්‍රයේ රියදුරු ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වුණා. 

ඔහුගෙන් සිදුකරන ප‍්‍රශ්නකිරීම්වලදී ලද තොරතුරු අනුව මෙම ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමට  නියමිතය තිබූ භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් ඉකුත් දා ඩෝසර් කර තිබුණා. 

ඒ, ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසුම් කි‍්‍රයාවලිය සඳහා බවටයි පසුව අනාවරණ වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක ද අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වනවා.