Monday, April 29, 2024

General line - 0115112241

අඩු ආදායම්ලාභීන්ගේ රැකියා ලක්ෂයේ වැඩසටහන ඇරඹේ




දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින්. මේ යටතේ දිළිඳු පවුල්වලින් තෝරාගත් පුද්ගලයින් ලක්ෂයකට මෙහිදී රැකියා ලබාදීමට නියමිතයි. මේ සඳහා රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ සුදුසුකම් රැසක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. 

ඒ අනුව කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ‍්‍රමිකයන් වීම, අයදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා 45ට නොවැඩි වීම ඒ අතරින් ප‍්‍රධානයි. එමෙන්ම සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම අදාළ සුදුසුකම්වලට අයත්.

මීට අමතරව වයස්ගත, රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හා අයදුම් කරන ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම යන සුදුසුකම් ද සම්පූර්ණ කළ යුතු වනවා.

අදාල අවම සුදුසුකම් සම්පූර්ණ කල 50,000ක පිරිසක් පළමුව මෙම වැඩසටහනට තෝරාගෙන ඇති බවයි නෙත් නිවුස් කල විමසීමකදී රාජ්‍ය සේවා හා පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි පැවසුවේ.

මෙම පුහුණුව සඳහා තෝරා ගැනීමේදී එක් පවුලකින් එක් ඉල්ලූම්කරුවෙකු පිලිබද පමණක් සලකා බැලීමට නියමිතයි. අයදුම්කරුවන් පදිංචි ගම් ආශ‍්‍රිත ප‍්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත‍්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කරනු ඇති. 

මෙම පිරිස පුහුණුව සඳහා යොමු කෙරෙන්නේ තමා පදිංචි ප‍්‍රදේශය තුළ හෝ ආසන්න ප‍්‍රදේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවලටයි. සාර්ථක පුහුණුවකින් පසු රැකියා සඳහා අනියුක්ත කිරීම සිදුවනු ඇති.

තෝරා ගත් පිරිස සඳහා පුහුණුව ලබා දෙන ආකාරය සම්බන්ධයෙන්ද රාජ්‍ය සේවා හා පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මෙහිදී පැහැදිලි කළා.

මාස 06 ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රු.22,500ක දීමනාවක් ඔවුන්ට හිමිවනවා. 

පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබු ක්ෂේත‍්‍රයට අදාළව සිය ස්ථිර පදිංචි ප‍්‍රදේශය තුළ රජයේ අනුමත ප‍්‍රාථමික ශිල්පීය නොවන වැටුප් හා දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව හිමිවනු ඇති. වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ‍්‍රාම වැටුපකට හිමිකම් කීමට ද මෙම රැකියාලාභියාට අවස්ථාව උදා වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර, අදාළ ක්ෂේත‍්‍ර රැුකියා ප‍්‍රදානය ඉදිරිපත් කර ඇති නිර්ණායක මත පමණක් සිදු කෙරෙන බැවින් රැකියාලාභීන් යම් තැනැත්තෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථාව ප‍්‍රතික්ෂේප වීමට හේතු වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.