Friday, May 10, 2024

General line - 0115112241

ඉන්දියාවේදී ඇල්ලූ CCD කොස්තාපල් සමග සබඳතා පැවැත්වූවන් ගැන විශේෂ විමර්ශනයක්




හෙරොයින් කිලෝ 23 ක් සපුගස්කන්ද ප‍්‍රදේශයට ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිිටි තමිල්නාඩුවේදී ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, සැකකාර පොලිස් කොස්තාපල්වරයා මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වා ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහායි.  

සැකකාර පොලිස් කොස්තාපල්වරයා තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදීයි. මෙරට පොලිසියට අවශ්‍යව සිටි මෙම සැකකරු ඉන්දියාවට පළා ගියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුවෙකුගේ හෝ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සහයෙන් ද යන්න පිළිබඳ සැක මතුව තිබෙනවා.

මෙරට සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ, පොලිසිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන අපරාධකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර ඉන්දියාවට පලාගොස් ඇති බවට වාර්තා වනවා. සැකකාර පොලිස් නිලධාරියාට එවැනි පුද්ගලයෙකුගේ සහය හිමි වනුයේ ද යන්න පිළිබඳවයි සැක මතුව ඇත්තේ.

මේ අතර, සැකකාර පොලිස් කොස්තාපල්වරයා මීට දින කිහිපයකට පෙර ඔහුගේ මව්පියන් වෙත ඇමතුමක් ලබා දී තමන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ නොකරන ලෙසත්, සිය ජංගම දුරකථනය කි‍්‍රයා විරහිත කර තබන බවත්, ප‍්‍රකාශ කර ඇති බව ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර සමුද්‍රීය දේශ සීමාව හරහා මත්ද්‍රව්‍ය, රත‍්‍රන් සහ වෙනත් භාණ්ඩ ශ‍්‍රී ලංකාවට ප‍්‍රවාහනය කරන බවට රාමේෂ්වරම් වෙරළාරක්ෂක පොලීසියට ලද තොරතුරකට අනුව තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (05) සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා. නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරී කළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ එම මෙහෙයුම අතරතුරදීයි. 

එලෙස ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ එම පොලිස් කොස්තාපල්වරයා, මොණරාගල දිස්ත‍්‍රික්කයේ පදිංචි ප‍්‍රදීප් කුමාර් බණ්ඩාරනායක නමැති 30 හැවිරිදි පුද්ගලයෙක්. පසුගිය දෙවැනිදා සපුගස්කන්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 23 එම ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ ඔහු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.