Friday, May 10, 2024

General line - 0115112241

විස්සට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී තුන්වන දිනටත් ඇරඹේ




පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති විශේෂ පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී තුන්වන දිනටත් ආරම්භ වුණා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ගණන 39 ක්. 

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප‍්‍රකාශ කරන ලෙසටයි පෙත්සම්කරුවන්  එම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ. 

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන 33 වන පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා සිටියේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් මැතිවරණ සමයේදී පුද්ගලික මාධ්‍ය ආයතන ආණ්ඩුවට අවශ්‍ය පරිදි හැසිරීමට හැකියාවක් ඇති බවයි. 

ඒ තුලින් මාධ්‍ය නිදහස උල්ලංඝණය වන බවත් මහජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීම සීමා වන බැවින් මැතිවරණ කොමිෂන් සභාවට අදාළ වගන්තිය ජනමත විචාරකයකින් සම්මත විය යුතු බවත් නීතීඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියා.
19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේ මාධ්‍ය ආයතන සදහා බලධාරියෙකු පත් කිරීමට යෝජනා කළ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සදහා සරල අනුමැතියක් ලබා නොදුන් බැවින් එය හකුලා ගැනීමට එවක ආණ්ඩුවට සිදු වූ බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගේ දේශන මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලමින් පවතිනවා. අනතුරුව අතරමැදි පාර්ශවයන්ගේ පෙත්සම් වලට අදාළ දේශන සහ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතයි.