Tuesday, April 30, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ ගැබිණි සහ කුඩා දරුවන් සිටින කාන්තා පොලිස් නිලධාරිනියන්ට නිවසේ සිටිමට අවසර : පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජේ ඒ එල් ජයසිංහ




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. කිරුළපන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ආසාදිත එම පොලිස් නිලධාරියා මේවනවිටත් රෝහල්ගත කර තිබෙනවා. 

කුණ්ඩසාල පොලිස් විදුහල් සංකීර්ණයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් 53 දෙනෙකු අතරින් පොලිස් නිලධාරීන් 03 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. 

පූජාපිටිය, පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම පොලිස් පරීක්ෂකවරයා මීට දින කිහිපයකට පෙර මෝදර පොලිස් ස්ථානයේ සිට පූජාපිටිය පොලිස් ස්ථානය වෙත මාරුකර යවා තිබුණා. 
මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නිරෝධායනයට ලක් කර හෝ බැරැුක්ක තුළ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන්ගේ පවුල් සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දි ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල කුඩා දරුවන් සිටින සහ ගර්භණී පොලිස් නිලධාරිනියන්ට සහනයක් සැලසීමට ද පියවර ගෙන ඇති බවයි. 

සමස්ථයක් ලෙස ගත් කළ පොලිස් නිලධාරීන් 424 කට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 145 දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයින්. බස්නාහිර පළාතට අයත් පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 කට ද මේවනවිට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. පොලිස් නිලධාරීන් 317 දෙනෙකු මේවනවිටත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත  යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනයට යොමු කර සිටින නිලධාරීන් සංඛ්‍යාව 1447 ක්.