Tuesday, May 7, 2024

General line - 0115112241

රේස් පදින පුද්ගලයින් මානසික වෛද්‍යවරුන් හමුවට : ඊයේ වැටලීමකින් යතුරුපැදිකරුවන් 24ක් අත්අඩංගුවට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක (VIDEO)




කිඹුලාවල මංසන්ධියේ සිට නව රෝහල පාරේ යතුරුපැදි ධාවන තරග පැවැත්වීමට සැලසුම් කරමින් සිටි යතුරුපැදිකරුවන් 24 දෙනෙකු මිරිහාන පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා..

ඊයේ දිනයේදී මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමකින් එවැනි සංවිධානාත්මක යතුරුපැදි කණ්ඩායමක් පොලිස් භාරයට ගනු ලැබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම යතුරුපැදි නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය සිය භාරයට ගෙන එහි හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මොරටුව, එගොඩ උයන ප්‍රදේශයේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරකින් පසුව පොලිසිය විසින් එවැනි සංවිධානාත්මකව සිදුකරනු ලබන බවට යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් අත්අඩංගුවට ගැනීමට රටපුරා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

" ඇතැම් තරුණ පිරිස් විසින් කොළඹ, ගම්පහ ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල මෙවැනි යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරග පවත්වන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් තමන්ගේ විනෝදාංශයට සිදුකරන මෙවැනි ක්‍රියා නිසා අවසානයේදී රටේ වටිනා ජිවිත අහිමිවීම් සිදුවනවා. ඉදිරියේදී මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා වගේම ඔවුන්ව අධිකරණ නියෝග මත මානසික වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අලුතින් ඇරඹෙමින් පවතින මෙවැනි උප සංස්කෘතියන් වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. 

තමන්ට යතුරුපැදි හෝ මෝටර් රථ ධාවන තරග පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ධාවන පථයන් තිබෙනවා. මහ මාර්ගයේ එවැනි ක්‍රියා සිදුකිරීම නීති විරෝධී" පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.