Tuesday, May 14, 2024

General line - 0115112241

ධනුෂ්කගේ සුපිරි පිතිහරඹය නිසා ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් පූර්ව වටයට




ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. ඒ, කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවති තීරණාත්මක තරගයෙන් කඩුලූ 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

 මූලික වටයේ දෙපිළම සහභාගි වූ අවසන් තරගය මෙය වු අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලද මෙම ජයත් සමඟ දෙපිළේම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 බවට පත් වුණා. කෙසේ වෙතත් කැන්ඩි ටස්කර්ස් පිලට වඩා ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ, ලකුණු ලබා ගැනීමේ දළ වේගය ඉදිරියෙන් පැවැතීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඔවුන්ට වරම් හිමිවුණා.  

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 126කට සීමා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් පන්දු යවන්නන් සමත්වුණා. කුසල් මෙන්ඩිස් පන්දු 42කදී ලකුණු 66 යි. පන්දු යැවීමේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මොහොමඕ අමීර්, නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසු කර යමින් තරගයේ ජය වාර්තා කළා. 

මෙම තරගාවලිය පුරා ලකුණු අතර රැදී සිටින ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 94ක් රැස් කරමින් මෙම තීරණාත්මක තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට රැගෙන ගියා. ධනුෂ්ක ගුණතිලක මෙවර තරගාවලියේදී වාර්තා කළ 4 වන අර්ධ ශතකයද මෙය වනවා. පන්දු 66කදි වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්. තරගයේ වීරයා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක. 

ඒ අනුව දඹුල්ල වයිකින්ග්, කලම්බෝ කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා සිටිනවා. ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරගය දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිිකින්ග් සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම් අතර අද රාතී‍්‍ර 8ට ආරම්භවීමට නියමිතයි.