Tuesday, April 30, 2024

General line - 0115112241

බස්නාහිරින් පිටවන සියලූ මාර්ගවලට කොරෝනා පරීක්ෂණ




බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී අද සිට අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ, බස්නාහිර පළාතේ සිට කිසියම් කොරෝනා ආසාදිත තැනැත්තෙකු වෙනත් පළාතකට සංක‍්‍රමණය වීම වැළැක්වීමේ අරමුණින්. කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම හා අනු පොකුරු නිර්මාණය වීම වැළැක්වීම මෙහි අරමුණ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

ඉකුත් සතියේ ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ යටතේ අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළේ කොළඹ සිට නුවර, මීගමුව, ගාල්ල, අවිස්සාවේල්ල යන ප‍්‍රධාන මාර්ග කේන්ද්‍ර කරගනිමින් පමණයි. එහෙත්, උත්සව සමය වෙනුවෙන් වැඩි වශයෙන් ජනතාව ගම්බිම් බලා යාමට ඉඩඇති බැවින් අද සිට මෙම පරීක්ෂණ තවත් පුළුල් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. 

මේ අතර මේ දිනවල බි‍්‍රතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා. බි‍්‍රතාන්‍යයේ සිට පැමිණ අද දිනයේ මෙරටට ලගාවන ගුවන් මගීන් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු හෝටල්වල රඳවා දින 14 ක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි. 

එමෙන්ම එලෙස පැමිණෙන මගීන් තවත් දින 14 ක් නිවෙස් නිරෝධායනයට ලක්විය යුතු බවටයි නියෝග කර ඇත්තේ. බි‍්‍රතාන්‍යයේ සිට පැමිණෙන භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානාවල කාර්යය මණ්ඩලය ද නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි. 

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ විදෙස් රටවල් කිහිපයකින් කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයක් හමුවීමත් සමග මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා දැනට කි‍්‍රයාත්මක ක‍්‍රමවේදය තවදුරටත් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව මෙරටට පැමිණීමට පෙර සියලූ ගුවන් මගීන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අනුමැතිය ලබාගත යුතුයි. මෙම ක‍්‍රමවේදය ලිහිල් කිරීමටයි මිට පෙර අවධානය යොමුව තිබුණේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. යම් හෙයකින් වෛරසය මෙරටට ඇතුළුවුවහොත් එහි ප‍්‍රථිඵල වඩා අවදානම් විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප‍්‍රකාශ කළා. 

මේ අතර බි‍්‍රතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය සම්බන්ධයෙන් තවත් තොරතුරු අපගේ විදෙස් ප‍්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.