Thursday, May 16, 2024

General line - 0115112241

කොළඹ රාජකීය විදුහල්පති ඉවත් කිරීමේ අර්බුදයක් 




කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දරන ලද උත්සාහයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

පසුගියදා එම විද්‍යාලයේ විදුහල්පතිවරයාව දුරකථනයෙන් අමතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කොට ඇත්තේ ඔහුට ස්ථාන මාරුවක් ලැබී ඇති බවයි.

එය රාජකීය විද්‍යාලයේ ආදි සිසුන්ගේ මැදිහත්වීම මත අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකල ඉල්ලීමක් බවයි ඔහු පවසා ඇත්තේ.

එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එය තරයේ ප්‍රතික්ෂේප කොට ඇති අතර තමාට එවැනි කිසිම අවශ්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටිනවා.

වාචිකව ලබා දුන් මෙම සේවා මාරුව පිලිබඳව දැනගැනීමත් සමඟම පාසල තුල විශාල අර්බුදයක් හටගෙන තිබෙනවා.නව වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ කටයුතු මෙතෙක් නිම වී නොමැති අතර සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ එවන් කාලයක් තුල කිසිඳු විදුහල්පතිවරයෙකුට ස්ථාන මාරුවක් ලබා නොදීමයි .

එවන් තත්වයක් තුල තමාට ලබා දෙන බව පැවසූ ස්ථාන මාරුවට අදාල ලිපිය ලබා ගැනීමට රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා අද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හමුවීමට ගොස් තිබෙනවා.

එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කොට ඇත්තේ , "ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් වන " බවට සඳහන් කොට ලිපියක් ලබා දෙන ලෙසටයි.

එහෙත් විදුහල්පතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කොට ඇති අතර ,ලේකම්වරයා විසින් මෙලෙස ඔහුට ස්ථාන මාරුවීමක් ලබා දීමට උත්සාහ කරනුයේ ඔහුට හිතවත් වෙනත් පුද්ගලයෙකු එම තනතුරට පත් කර ගැනීමේ අරමුණෙන් විය හැකි බවටයි බොහෝ දෙනා විශ්වාසය පල කර සිටින්නේ.