Thursday, May 2, 2024

General line - 0115112241

ගිනිකොණ දිග ආසියාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් පත් කෙරේ




කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් ගිනිකොණ දිග ආසියාවේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ලෝක
සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන පාලිත අබේකෝන් පත් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Tedros Adhanom Ghebreyesus විසින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එය සනාථ කර තිබෙන අතර කොවිඩ් වසංගතය මැඩලීමේ සටනට සාදරයෙන් පිළිගන්නා බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය පාලිත අබේකෝන් ජිනීවා සහ දකුණු කැලිෆෝනියා හි පිහිටි විශ්ව විද්‍යාල වලින් පශ්චාත් උපාධි අධ්‍යාපනය හා පුහුණුව ලබා ඇති අතර මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශකවරයෙක් ද වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ නේපාලයේ මහජන සෞඛ්‍ය සම්බන්ධ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී එරට පළමු වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබූවේ වෛද්‍ය පාලිත අබේකෝන්ය.

ප්‍රජා සෞඛ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඔහු ගේ දායකත්වය අගයනු පිණිස ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත වෛද්‍ය අධ්‍යාපන සංගමයේ ආචාර්ය ෆ්‍රෙඩ් කැට්ස් සම්මානය, ගිනිකොනදිග ආසියාවේ මහජන සෞඛ්‍ය අධ්‍යාපන ජාලයෙන් ජීවිත කාලය සඳහා හිමිවනු ලබන සම්මානය සහ මහජන සෞඛ්‍ය සඳහා ආසියා පැසිෆික් අධ්‍යයන සම්මේලනය විසින් පිරිනමනු ලබන කසු මැක්ලරන් නායකත්ව සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

වෛද්‍ය පාලිත අබේකෝන් ජාත්‍යන්තර වෛද්‍ය සඟරාවල පුළුල් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මහජන සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව ලිපි පළ කොට තිබෙන අතර ඉතා මෑතකදී පළ කෙරුණු ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසය නම් ග්‍රන්ථයේ කතුවරයා ද විය. එමෙන්ම එතුමා කලක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ධුරය ද හෙබවිය.