Thursday, May 2, 2024

General line - 0115112241

මහර රැදවියන් 11 දෙනා මිය ගිය හේතුව හෙලිවෙයි




මහර බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම එහිදී සිදුවූ වෙඩි ප‍්‍රහාරවලින් මියගිය බව අනාවරණ වී තිබෙනවා. ඒ, අදාළ නඩුව අද වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි. අධිකරණය විසින් පත්කළ විද්වත් කමිටුව අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ එම ගැටුමේදී මියගිය රැඳවියන් 11 දෙනා එදින සිදුවූ වෙඩි තැබීම්වලින් ඇති වූ මාරාන්තික තුවාල නිසා මියගොස් ඇති බවයි. 

මීට පෙර රැඳවියන් 08 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ අතර අද සෙසු තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව සෙසු රැදවියන් තිදෙනාත් වෙඩි වැදීම නිසා ඇති වූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බවයි එම කමිටුව අධිකරණයට දන්වා සිටියේ.

අදාළ රැඳවියන් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොතිබීම හේතුවෙන් ඔවුන්ගේ දේහයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව රජයේ වියදමින් භූමදානය කරන ලෙසටයි වත්තල මහෙස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ. එම රැුඳවියන් තිදෙනාගේ ඥාතීන්ට ආගමික වත්පිළිවෙත් සිදුකිරීමට අවස්ථාව ලබාදෙමින් භූමදාන කටයුතු සිදුකරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මේ අතර මහර බන්ධනාගාර අධිකාරීවරයා ඇතුලූ බන්ධනාගාර 15ක උසස් නිලධාරීන් වහාම කි‍්‍රයාත්මකවන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ අනුව මහර බන්ධනාගාර අධිකරීවරයා මාරු කර ඇත්තේ බන්ධනාගාර පුහුණු පාසල වෙතටයි. වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඞ්, අගුණුකොලපැලැස්ස, ගාල්ල ඇතුලූ බන්ධනාගාර 15ක උසස් නිලධාරීන් මෙලෙස මාරු කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය නෙත් නිවුස් වෙත කියා සිටියේ. සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කෙරුණු බවද ඔහු කියා සිටියා.