Friday, May 17, 2024

General line - 0115112241

කොළඹ මහ නගර සභා සුලු සේවකයින්ගෙන් කොරෝනා එන්නත ජනතාවට දීම ඇරඹේ




ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිඩ් මර්දන එන්නත ජනතාවට ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ දැනට රටට ගෙන්වා ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ ඉතිරි එන්නත් තොගය මෙලෙස ජනතාවට ලබා දෙන බවයි. 

මෙම එන්නත ජනතාවට ලබා දීම ආරම්භ කෙරුණේ කොළඹ මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සේවයේ නියුතු 552 දෙනෙකු එන්නත් කරමින්. කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ජනතාවටද කඩිනමින් එන්නත ලබා දෙන බවයි.

පලමු මාත්‍රාව ලැබූ පිරිසට දෙවන මාත්‍රාව සති 12ක් තුළ ලබා දීම ප්‍රමාණවත් බව හදුනාගෙන ඇති බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවේ.

අදින් ආරම්භ වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ජනතාවට ලබාදීමේ කටයුතු වලදී ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ බස්නාහිර පළාතටයි. වෛරසය ආසාදනය වීමට වැඩි ඉඩකඩක් පවතින අවදානම් පිරිස් වෙත පළමුව එන්නත ලබාදීම සිදු වනවා.

මේ අතර දුම්කොල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ පැවසුවේ මත්පැන් හා දුම්වැටි භාවිතා කරන්නන්ට මෙම එන්නත ලබා දීම මුදල් සහ සම්පත් අපතේ යැවීමක් බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු හෙට සිදුකරන බව පාර්ලිමේන්තු වේත්‍රදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. ඒ, නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදීයි. කෙසේවෙතත් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සඳහා එන්නත්කරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි පාර්ලිමේන්තු වේත්‍රදාරීවරයා සඳහන් කළේ.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ ඒ යටතේ බන්ධනාගාර නිලධාරීන් 5100ක පමණ පිරිසකට එන්නත ලබාදීමට නියමිත බවයි.