Saturday, July 27, 2024

General line - 0115112241

හිටපු ජනපති ගෝඨාභයට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

උදය කුමාර




මරණීය දණ්ඩනය නියම වී සිටි යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවෙකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම යුද හමුදා සැරයන්වරයාට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබුණා.

ඔහු එලෙස ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබුවා.

යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලිගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එය කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන්  සුනිල් රත්නායක යන අයට අධිකරණය හමුවේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතිසි නිකුත් කිරීමට අවසර දෙන ලෙසයි. 

එම ඉල්ලීම පිළිගත්  විනිසුරු මඩුල්ල අදාල විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්නට ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළා.

ඊට අමතරව අදාල පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපති සමාව මත නිදහස් කෙරුණු යුද හමුදා සැරයන් සුනිල් රත්නායකටද මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබූවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන සැප්තැම්බර් මස 4 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් අධිකරණ විසින් නියෝග කළා. 

2000 වසරේ දෙසැම්බර් මස 19 වනදා යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේදී කුඩා ළමයකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු කපා කොටා මරා දමා වල දැමීමේ චෝදනාව සම්බන්ධයෙන්  යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබුවා. 

එම නඩුවේ විභාගයෙන් අනතුරුව වරදකරු කෙරුණු සුනිල් රත්නායක නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළා.

ඉන් අනතුරුව එම මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

එම අභියාචනා පෙත්සම විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකාර සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුව 2017 වසරේ මැයි මස 20 වනදා තහවුරු කරනු ලැබූවා.

ඉන් අනතුරුව මරණීය දණ්ඩනය ලබා සිටි සුනිල් රත්නායක නැමැත්තා  2020 වසරේ මාර්තු මස 26 වනදා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව ප්‍රදානය කොට නිදහස් කරනු ලැබුවා.

පෙත්සම්රු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ අධිකරණය විසින් වරදකරු කරනු ලබන පුද්ගලයින්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබෙන බවයි.

එහෙත් එම සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීතිමය පටිපාටියක් පවතින බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා. 

එම නීතිමය පටිපාටිය අනුගමනය නොකොට අදාළ  විත්තිකරු වෙත ජනාධිපති සමාව ප්‍රදානය කොට ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු සඳහන් කළා.

ඒ අනුව සුනිල් රත්නායකට ජනාධිපති සමාව ප්‍රදානය කර මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝන වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.