Friday, May 10, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගෙන් මියන්මාර හමුදාවට රතු එළි




විරෝධතාකරුවන් වෙත දක්වන කටුක ප්‍රතිචාර හමුවේ මියන්මාර හමුදාවට දැඩි ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා. මියන්මාර හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානියා ඇමතූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ෂ්රේනර් බර්ග්නර්, හමුදාවට දැනුම් දී ඇත්තේ මියන්මාර විරෝධතාකරුවන් පලිගැනීම්වලට ලක්විය නොවිය යුතු බවයි.

එසේම සාමාකාමීව ඒකරාශීවීමේ අයිතියට පූර්ණ ගෞරවය හිමිවිය යුතු බව ද ජගත් සංවිධානයේ නියෝජිතවරිය, මියන්මාර හමුදාවට දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

මේ අතර මියන්මාර හමුදාව විසින් යළිත් වරක් එරට තුළ අන්තර්ජාල සම්බන්ධතා අත්හිටුවා තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්හිටවූ අන්තර්ජාල සම්බන්ධතා අද උදෑසන වනවිට යළිත් යථා තත්ත්වයට පත්කර තිබූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ අතර මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි මහජන විරෝධතා මේවනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. එහෙත්, එලෙස විරෝධතාවන්ට එක්ව සිටින ජනයාගේ අඩුවක් අද දිනයේදී දක්නට ලැබුණු බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත්, කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වූ පිරිස් නගරවලට පිවිස හමුදා පාලනයට එරෙහිව සිය විරෝධය පළ කරමින් සිටිනවා. නගර රැසකම සන්නද්ධ හමුදා රථ හා හමුදා භටයින් යොදවා ඇති අයුරු ද දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. හමුදා පාලනයට එරෙහිව විරෝධතාවල නිරතවන්නන්ට වසර 20 ක සිර දඬුවමක් ලබාදෙන බවටයි මියන්මාර හමුදාව ඊයේ තර්ජනාත්මකව ප්‍රකාශ කළේ.