Thursday, May 2, 2024

General line - 0115112241

අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න - සංචාරක ව්‍යවසායකයන්ට ජනපති කියයි




කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ දී හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන් හා රියැදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ජාවේදී අවධානයට යොමුවී තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී  මෙම කරුණ කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

මෙරටට පැමිණෙන සංචාරකයන් ආසාදිතයන් නොවන අවස්ථාවලදී ඔවුන්ට පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද මෙම සාකච්ජාවේදී යෝජනා කෙරුණා.

පවතින කොවිඩ් - 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා  හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර ඇති බවත් සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට ප්‍රකාශ කර සිටියා.

ආසාදිත සංචාරකයන් ලංකා හොස්පිටල් (පුද්) වෙත සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොග්ගල පවත්වාගෙන යන රෝහල වෙත යොමු කිරීමට ද තීරණය විය. අනුමත කරගත් සංචාරක සැලැස්ම අනුව සංචාරකයන් මෙහෙයවීම පිළිබඳ දැඩි අවධානය යොමුකරන ලෙස මෙහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

සංචාරකයන්ගේ පහසුකම් පිළිබඳව හා සංචාරය නිමවා පිටව යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිය.

කොවිඩ් සමයේ පැමිණි සංචාරකයන් අතුරින් ආසාදිත සංචාරකයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 1% කට අඩු බව සාකච්ඡාවේ දී අනාවරණය විය. 

කොවිඩ් මර්ධන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවීමේ වාසිය සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත හැකි බවත්, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ දී  සෞඛ්‍ය අංශවල නිර්දේශ සැලකිල්ලට ගනිමින් සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට එහි නියැලෙන්නන් කටයුතු කළ යුතු බවත් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ සඳහන් ක‍ර සිටියා.