Monday, April 29, 2024

General line - 0115112241

සීලරත්න හිමියන්ගේ නාම යෝජනාව ක්‍රිකට් නිලවරණයෙන් ඉවතට




මැයි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව එහි ප්‍රධාන තනතුරු සදහා පත් වීමට නම් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය වීම හේතුවෙන්.

උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් හරහා සීලරත්න හිමියන් සිය ශ්‍රී ලංකා ආයතනයේ නිලවරණය සඳහා ඊයේ සිය නාම යෝජනා භාර දෙනු ලැබුවා.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සදහා ෂම්මි පාර්ශ්වයෙන් වත්මන් සභාපති ෂම්මි සිල්වා නාමයෝජනා භාර දුන්නා. එම පාර්ශවයෙන් උප සභාපති තනතුරු දෙක සදහා නාමයෝජනා භාර දුන්නේ ක්‍රිකට් ආයතනයේ වත්මන් උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාසයි. 

ෂම්මි පාර්ශ්වයෙන් භාණ්ඩගාරික තනතුර සදහා ලසන්ත වික්‍රමසිංහ නාමයෝජනා භාරදුන්නා. 

මේ අතර රණතුංග පාර්ශවයෙන් මෙවර සභාපති තනතුර සදහා නාමයෝජනා භාරදුන්නේ හිටපු උප සභාපතිවරයෙකු වු කේ මතිවානන්.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග එම පාර්ශ්වයෙන් ලේකම් තනතුර සදහා නාමයෝජනා භාර දුන්නා. 

හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර උප සභාපති තනතුරක් සදහා නාමයෝජනා භාරදුන් අතර එම පාර්ශ්වයෙන් ඉතිරි උප සභාපති තනතුර සහ භාණ්ඩාගාරික තනතුර සදහා නාමයෝජනා භාරදී නොමැති බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාවලට විරෝධතා බාර ගැනීම ලබන මාර්තු මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, එම විරෝධතා පිළිබඳ නිලවරණ කමිටුව විසින් ගනු ලබන තීරණ මාර්තු මස 15 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

අනතුරුව ක්‍රිකට් නිලවරණය සඳහා අවසන් නාමලේඛනය අප්‍රේල් මස 20 වැනිදා නිවේදනය කරනු ඇත.