Friday, May 10, 2024

General line - 0115112241

ඇස්ට්‍රාසෙනිකා එන්නත නිසා යුරෝපය දෙකඩ වේ




ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත හේතුවෙන් යුරෝපා රටවල් ආකල්පමය වශයෙන් දෙකඩ වීමකට ලක්ව තිබෙනවා.

ඒ, එන්නත ලබාගත් සුළු පිරිසකට අතුරු ආබාධ තත්ත්වයන් මතුවීමේ සිදුවීම් වාර්තා වීම හමුවේයි.  

එහි ප්‍රථිඵලයක් ලෙස ජර්මනිය හා ප්‍රංශය වැනි ප්‍රබල යුරෝපානු රටවල් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නවතා දමද්දී, තවත් යුරෝපානු රටවල් කිහිපයක් තවදුරටත් ඇස්ට්‍රා සෙනිකා එන්නත භාවිත කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත්,  යුරෝපානු රටවල් කිහිපයක් තවදුරටත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය සහ ඉතාලිය එම රටවල් අතරට අයත්. ඔවුන් පවසන්නේ සිය රටවල් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් යුරෝපා සංගමය ප්‍රකාශයට පත් කිරීමට නියමිත න්‍යායන් සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් සිටින බවයි.

යුරෝපානු ඖෂධ ඒජන්සිය, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල වාර්තාවක් ද හෙට නිකුත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් අවධාරණය කරන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් ඇතැම් රෝගීන්ට සිදුවූ රුධිර කැටි ගැසීම්, අදාළ එන්නතට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවයි.

ඒ අනුව එන්නත් කිරීම අඛණ්ඩව සිදුකරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටින්නේ.

මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය හේතුවෙන් බිඳ වැටී ඇති කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහනට විසඳුමක් ලෙස රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත භාවිතා කිරීමට ඇතැම් යුරෝපානු රටවල් අවධානය යොමුකර තිබෙනවා.

එහෙත්, යුරෝපානු ඖෂධ ඒජන්සිය එම එන්නත සඳහා මේවනතෙක් අනුමැතිය ලබාදී නොමැති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.