Thursday, May 2, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයාගත් කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළව සහකාර පොලිස් අධිකාරීවරයකුගේ මෙහෙයවීමෙන් වෙනම පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම පොලිස් කණ්ඩායම පත් කර ඇති බවත්, එම පරීක්ෂණ නීතිපතිවරයාගෙ සෘජු අධීක්ෂණය යටතේ සිදුවන බවත් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම ආයුධ තොග සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි ආකාරයට සිදුනොකිරීම පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ රිට් පෙත්සමට අදාළව නීතිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළා.

මෙම පෙත්සම යළි මැයි මස 06 වනදා කැඳවීමටයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්න කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය රිට් පෙත්සමෙන් පවසා ඇත්තේ මෙම කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කළේ කවුරුන්ද යන බව හා ඒ සදහා අරමුදල් ලැබුණු ආකාරය පිළිබඳ කිසිදු කරුණු අනාවරණයක් සිදුකර ගැනීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.