Friday, May 10, 2024

General line - 0115112241

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි




ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙනවා. ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවක්. කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණේ පසුගිය වසරේ ජූලි මාසයේදීයි.

ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න එහි සභාපතිවරයා ලෙස පත් කෙරුණා. කමිටු නිර්දේශ ඇතුළත් වාර්තාව කමිටු සභාපති රොහාන් සෙනෙවිරත්න විසින් ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

අදාළ නිර්දේශ ඇතුළත් විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා. වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. කසල කළමනාකරණයේදී බාහිර පරිසර  සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතා ඇතිවූ බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. එමෙන්ම කසල කළමනාකරණයේදී මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.