Tuesday, April 30, 2024

General line - 0115112241

කොවිඩ් වසංගතය මධ්‍යයයේ කම්කරුවන්ගේ ජන ජීවිතය අඩාලවන සීමා පැනවීම් නොකරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්




කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත් කරන දුප්පත්කම සමාජයෙන් තුරන් කරලිමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස්කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අදට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවිඩයේ දැක්වෙන්නේ වර්තමානයේ පවතින කොවිඩ් 19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාව බවයි.

මෙරට වැඩි කරන ජනතාවද මුහුණ පා සිටින එම යථාර්ථය ආණ්ඩුව නිවැරදිව අවබෝධ කරගෙන සිටින බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එබැවින් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය අඩාලවන සීමා පැනවීම් නොකොට ජීවිතය යථාවත්ව ගෙන යාමට රජය නිරතුරුව කටයුතු කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ මැයි දින පණිවිඩයේ සඳහන්.

මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ කොතරම් දුෂ්කර තත්ත්වයන් හමුවේ වූවත් වත්මන් රජය කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දුන් බවයි. 2021 වර්ෂය සඳහා තමන් ඉදිරපත්කල අයවැය ලේඛණයෙන් වතු කම්කරුවන් සඳහා පොරොන්දු වූ රුපියල් 1,000 සේ දෛනික වැටුප ලබා දීමට හැකි වීම ජයග්‍රහණයක් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

කොවිඩ් වසංගතය හමුවේ වුවද සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දීවා රෑ වෙහෙසෙන මෙරට කම්කරු ජනතාවගේ කැපවීම අගය කරන බවත් වසංගත තත්ත්වය පාලනය කිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් සිය ප්‍රණාමය පුද කරන බවත්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මැයි දින පණිවිඩයේ සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මැයි දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මෑත සිය වස තුළ ලෝක ආර්ථිකයට මෙතරම් බලවත් පීඩාවක් එල්ලකළ වකවානුවක් සොයා ගැනීම පවා දුෂ්කර බවත් ඉන් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ කම්කරු ප්‍රජාව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. මෙ ව්‍යසනකාරී අවස්ථාවේ එකිනෙක අත්නොහැර අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගනිමින් මිනිසාට මිනිසා විසින්  උදව් කළ යුතු තීරණාත්මක තත්ත්වය උදා වී ඇති බව විපකෂ නායක සජිත් ප්‍රේමදාසම මහතා නිකුත් කළ මැයි දින පණිවිඩයේ සඳහන්.