Tuesday, April 30, 2024

General line - 0115112241

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අදත් වර්ජනයේ - ගැටළුව විසදීමට මැදිහත් වන්නැයි ජනපතිට සහ අගමැතිට ඉල්ලීම්




මහජන සෞඛ්‍ය  පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති   15 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.  බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් එම වර්ජනය අඛණ්ඩව  ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කළා.  

සෞඛ්‍ය බලධාරීන් මෙම ගැටළු විසදීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිය ඉල්ලීම් පිළිබද සළකා බැලීමට ජනාධිපතිවරයාට  සහ අග්‍රාමාත්‍යවරයාට මැදිහත් වන ලෙසයි වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලීමක් කළේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ්.

තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිය වර්ජනයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සෞඛ්‍ය වෘත්තීය සමිති දිගින් දිගටම ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහල් වෙත පැමිණෙන ජනතාවද පීඩාවට පත්ව සිටින අතර රෝහල් වෙත පැමිණි බොහෝ දෙනෙකු ද ප්‍රකාශ කළේ මෙරට රජයේ සෞඛ්‍ය සේවය පහත් තත්ත්වයකට ඇද වැටී ඇති බවයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් රෝගීන් බිල්ලට දී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ. 

මේ අතර අද ප්‍රචාරය කෙරෙන නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් සාකච්ඡා කෙරෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය පවතින සමයක සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබදවයි. සෞඛ්‍ය වෘත්තීය සමිති බලාපොරොත්තු වන ඉල්ලීම් ඉටු කළහොත් රටේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන ශ්‍රවණය කළ හැකියි.