Saturday, May 18, 2024

General line - 0115112241

ගම්මන්පිලගේ විශ්වාසය රකින බවට නිදහස් පක්ෂය සහතික වෙයි




අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂයට වාසි දායකවන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි ජේ්‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ඛණිජ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයා විසින් ගත් තීරණය තනි තීරණයක් නොවන බවයි.

එය අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයක් බවත් එහි වගකිීම උදය ගම්මන්පිල අමාත්‍යවරයාට පමණක් භාර දිය නොහැකි බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාවේදී අමාත්‍ය උදය ගම්මන්පිලට විශ්වාසය පළ කිරීම සඳහා කටයුතු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

මේ අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මන්දිරයේදීයි. ඒ සදහා ආණ්ඩු පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගිවන ලෙසයි දැනුම් දී ඇත්තේ. එම රැස්වීමේදී අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කළේ. 

අද පැවැත්වෙන ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළා.

මේ අතර අමාත්‍ය උදය ගම්මන්පිලට ඉදිරිපත් කර ඇති විශ්වාභංග යෝජනාව සම්බන්ධයෙන් සිය තීරණය හෙට දිනයේදී ප්‍රකාශ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මාන්ත්‍රී ආර් සම්පන්දන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ හෙට පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කෙරුණු ඇති.

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වෙන අතර එම දින දෙකේදී අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙනවා.   සමගි ජනබලවේගය විසින් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.