Monday, April 29, 2024

General line - 0115112241

ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 09 වැනිදා




ජාතික ඖෂධ  නියාමන අධිකාරියට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කර ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ මෙම මස 09 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

මෙම තනතුර සඳහා 09 දෙනෙකු අයදුම්පත් යොමු කර තිබූ අතර ඉන් සිවු දෙනෙකු ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

එම සුදුසුකම් සපුරා ඇති සිවු දෙනාගෙන් එක් අයෙකු පත් කිරීම සඳහා ලබන 09 වැනි බ්‍රහස්පතින්දා මෙලෙස සම්මුඛ පරික්ෂණ කැඳවා තිබෙනවා. 

දැනට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු  කරන්නේ වෛද්‍ය කමල් ජයසිංහයි.  ඔහු 2018 වර්ෂයේ මාර්තු මස  විසි පස් වැනි දින විශ්‍රාම යාමට නියමිතව තිබුණද  ඔහුට තවත් අවුරුදු තුනක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී තිබුණා.  

පසුව ඔහුට මෙම වසරේ මාර්තු මස 25 වැනි දින තවත් මාස හයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇති අතර එම සේවා දිගුව මෙම මස 25 වැනිදායින් අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත් මේ සඳහා නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. 

 කොරෝනා වසංගත තත්ත්වයක් රට තුළ පවතින සමයක මෙවැනි නව පත්කිරීම් සිදුකිරීමේදී සැලකිලිමත් විය යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.