Thursday, May 2, 2024

General line - 0115112241

තවත් පුද්ගලයින් 51,000කට කොවිඩ් දෙවන එන්නත් මාත්‍රාව ඊයේ ලබා දෙයි




මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් ගණන එක්කෝටි දහසය ලක්ෂ 62, 496 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 51,662 දෙනෙකු සිය දෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීමත් සමගයි. 

ඒ අතරින් 26,220 දෙනෙකු සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇති අතර පුද්ගලයින් 23,679 දෙනෙකු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. ඊයේ දිනයේදී ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,708 ක්. පුද්ගලයින් 31 දෙනෙකු ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාවත්, 24 දෙනෙකු මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාවත් ඊයේ දිනය තුලදී ලබාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

මේ අතර පුද්ගලයින් 41,684 දෙනෙකු ඊයේ දිනයේදී සිය පළමු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. ඒ අනුව මෙරට භාවිත කෙරෙන කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි හතලිස් හතර ලක්ෂ 33,611 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.