Wednesday, May 8, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන පැරණි ආණ්ඩුවේ ප්‍රධානීහු රටින් බැහැර ආණ්ඩුවක් නිවේදනය කරයි 




තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීම හේතුවෙන් බිදවැටුණු ඇ‍ෆ්ගනිස්තානයේ පැවති නීත්‍යානුකූල රජයේ ප්‍රධානීන් පිරිසක් එක්ව රටින් බැහැරව පවත්වාගෙන ‍යන ආණ්ඩුවක් හෙවත් එක්සයිල් ආණ්ඩුවක් ප්‍රකාශයට කර තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්තානයේ හිටපු පළමු උප ජනාධිපති අමරැල්ලා සලේගේ නායකත්වය යටතේයි.

මේ පිළිබද වන නිවේදනයක් ස්විස්ටර්ලන්ත‍යේ පිහිටි  ඇෆ්ගනිස්තාන තානාපති  කාර්යාලය මගින් නිකුත් කෙරැණා.

එහි දැක්වෙන පරිදි ඇෆ්ගනිස්තාන ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගැනුණු පැවති ඉස්ලාමීය ඇෆ්ගනිස්තාන රජය එරට නීත්‍යනුකූල ආණ්ඩුව වන අතර වෙනත් කිසිදු ආණ්ඩුවකට හෝ කණ්ඩායමකට එම තත්වය අත්කර ගැනීමට නීත්‍යානුකූල වලංගුභාවයක් හිමිවන්නේ නැහැ.

මේ පසුබිමත් හිටපු ජනාධිපති අශ්රොෆ් ගානිගේ ඉවත්වීමත් මත පළමු ජ්‍යෙෂ්ඨ උප ජනාධිපති අමරැල්ලා සලේගේ නායකත්වයෙන් මෙම රටින් බැහැර ඇෆ්ගනිස්තාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

රටින් බැහැර ආණ්ඩුව අහමද් ෂා මසූඩ්ගේ නායකත්වයෙන් යුත් උතුරැ පෙරමුණු සන්ධානයට සහය පළකරන බවත්, විදේශවල තිබෙන සියලුම ඇෆ්ගනිස්තාන තානාපති සහ කොන්සාල් කාර්යාල මෙම ආණ්ඩුව නියෝජනය කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මෙම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ආදි සියලු අංශ පිළිබදව කඩිනමින් නිවේදනය කරන බව ද එහි සදහන්. 

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගත්තත් ඊට නීත්‍යානුකූල වලංගුභාවයක් ලබා ගැනීම සම්බන්ධ ගැටලුවක් පවතින අතර මේ හේතුවෙන් ඔවුන් පසුගියදා  මීට වසර 57 කට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තාවකාලිකව අනුගමනය කිරීමට ද පියවර ගත්තා.

කෙසේවෙතත්, රටින් බැහැර ආණ්ඩුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඇෆ්ගනිස්තානයේ බලය පිටස්තර පාර්ශවයක් විසින් අල්ලාගෙන ඇති බැවින් ඔවුන් පරාජය කර පැවති නීත්‍යානුකූල රජය යළි ස්ථාපිත කිරීමට තමන් කටයුතු කරන බවයි.