Tuesday, April 30, 2024

General line - 0115112241

අයවැය සැකසීමට වැඩිම පිරිස් දායකත්වය මෙවර




2022 අයවැය ලේඛණය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ වැඩිම පිරිසකගේ හා ආයතනවල දායකත්වය ලබා ගෙන ඇති බව රජය පවසනවා. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මග පෙන්වීම සහ මුදල් අමාත්‍යාංශයේ සෘජු මැදිහත් වීමෙන්, ආයතන, සංවිධාන සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අයවැය සැකසීමේදී යෝජනා සහ අදහස් උදහස් ඉදිරිපත් කළ බවයි රජය සඳහන් කළේ. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ කොරෝනා වසංගතය හමුවේ ජාතික හා ජත්‍යන්තර වශයෙන් ආර්ථිකයට ඉමහත් පීඩනයක් ඇති වු කාලයක අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම උදෙසා වන අයවැයක් සම්පාදනය කර ඇති බවයි. 

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නායකයින්ගේ දායකත්වයද අයවැය ලේඛනය සකස් කිරීම සඳහා ලබා ගෙන තිබෙනවා. 

ආනයනකරුවන්, වෘත්තීය සංගම්, තේ, පොල්, රෙදි, එළවලු, පළතුරු, ආහාර, මත්ස්‍ය ඇතුළු අංශ 102ක පමණ කණ්ඩායමක් 2022 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා සහභාගී වී ඇති බවයි රජය සඳහන් කළේ. ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය 12වනදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 මෙරට 76වැනි අයවැය ලේඛනය වන මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය ලේඛනයද වනවා.