Tuesday, May 7, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් ගැරූ  පුද්ගලයන් දෙදෙනාට ඇප




ෆේස්බුක් ගිණුම් ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කර පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් දෙදෙනා අද ඇප මත මුදා හැරුණා. 

ඒ, මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මතයි. ඒ අනුව ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සහ රුපියල් 20,000 ක මුදල් ඇප මත ඔවුන් මුදා හැරීමටයි නියෝග කෙරුණේ. 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකරුවන් පොලීසිය නමින් පෙනී සිටිමින් හැඳුනුම්පත් මුද්‍රණය කර, ඒවා යොදා ගනිමින් පොලිස් කොස්තාපල් සහ උප පොලිස් පරීක්ෂක තනතුරු සඳහා කටයුතු සිදුකර දෙන බව පවසා මුදල් ලබා ගැනීමක්ද සිදු කර ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් සිය නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා. එලෙස ඇප මත මුදා හැරුණේ මොරටුව රාවතාවත්ත ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි රවිඳු කල්හාර නමැති 18 හැවිරිදි අයෙක් සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් මොහොමඩ් නමැති 49 හැවිරිදි පුද්ගලයෙක්. 

ෆේස්බුක් ගිණුම් ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කර පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත් දා පළමුවරට අනාවරණ කළා.