Tuesday, April 30, 2024

General line - 0115112241

උත්සව සමයට පෙර කොවිඩ් අධිමාත්‍රා එන්නත දී අවසන් කරන්න - ජනපති




එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනු ලැබුවා.

දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරයි.

ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් හෙට සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසේ.

සිදු කළ නිරීක්ෂණයන්ට අනුව මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් අය වන අතර, ඉන් බහුතරය තරුණ පිරිස බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති.

කොවිඩ් ආසාදිතව අසාධ්‍ය වීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම අනිවාර්යයෙන් සිදු විය යුතු ය.

මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර, කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා.