Saturday, May 11, 2024

General line - 0115112241

වසර 11 කට පසු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඩොලර් පැමිණීම වාර්තාගත ලෙස පහළට




විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ වාර්තා ගත ලෙස අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී මෙරටට ලැබී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේක්‍ෂණ අමෙරිකානු ඩොලර් මිලියන 317 ක්. 

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසය හා සැසදීමේදී සියයට 49 යි දශම 7 ක පහළ යාමක් වනවා. ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 631 ක විදේශ ප්‍රේක්‍ෂණ මෙරටට ලැබී තිබුණා. 

මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලැබී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේක්‍ෂණ ප්‍රමාණය වසර 11 කට අධික කාලයකට පසු මෙරටට ලැබුණු අඩුම ප්‍රේක්‍ෂණ ප්‍රමාණයවීම කැපී පෙනෙන තත්ත්වයක්. මීට පෙර මෙතරම් අඩු ප්‍රේක්‍ෂණ ප්‍රමාණයක් ලැබී තිබුණේ 2010 වසරේ මැයි මාසයේයි. මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙරටට ලැබී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේක්‍ෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4,895   ක් දක්වා අඩු වී තිබෙනවා. එය ඉකුත් වසරේ අදාළ කාලය හා සැසදීමේදී 13 යි දශම  8 ක පහළ යාමක්. 

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ ඉකුත් සමයේ අඩු වී ඇතැයි නෙත් නිවුස් දිගින් දිගටම වාර්තා කලා. ඒ, මෙරට බැංකු මඟින් ඩොලර් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය වෙළඳපොළේ ඩොලර් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණයට වඩා අඩුවීමයි. 

මෙරට බැංකු මඟින් ඩොලර්යක් සඳහා රුපියල් 200 කට ආසන්න මුදලක් ගෙවන පසුබිමක වෙළදපොළේ ඩොලර්යක් සඳහා රුපියල් 240 කට ආසන්න මුදලක් ගෙවන බවටයි වාර්තා වුණේ. නීති විරෝධීව සිදුවන එම කටයුත්ත වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඉකුත් සමයේ දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබුවා.