Friday, May 10, 2024

General line - 0115112241

අද උදේ 08 සිට වෛද්‍යවරු වර්ජනයක - එන්නත්කරණයට බාධාවක් නැහැ




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් අද පෙරවරු 08 සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනවා. එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් ඊයේ දිනයේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් දිස්ත්‍රික්ක 05 ක වැඩවර්ජනයක නිරත වුණා. එහිදී රෝහල් සේවා ලබාගැනීමට පැමිණි රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි. 

එවන් තත්ත්වයක් තුළයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් අද දිනයේ දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ. මෙවන් වාතාවරණයක වර්ජනයක් ආරම්භ කරන්නේ ඇයි ? මේ, වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ.

කෙසේවෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ වෛද්‍යවරුවන්ගේ ඉල්ලීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි. මෙම වැඩවර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසටයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හදුන්වා දුන්නේ.

අද දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කළ ද සියලු රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු කිසිදු අවහිරයකින් තොරව අඛණ්ඩව සිදුකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ. එමෙන්ම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිලිකා රෝහල් හා වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකකවල මෙන්ම කොවිඩ් ප්‍රතිකාර සේවා හා කොවිඩ් එන්නත්කරණයටද මෙම වැඩ වර්ජනයෙන් කිසිදු බාධාවක් සිදු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා.