Wednesday, May 8, 2024

General line - 0115112241

නව වසරේදී සෞභාග්‍යයේ දැක්ම ඉටුකර ගැනීමට කැපවන්න - ජනපතිගෙන් ඉල්ලීමක්




ගෙවී ගිය වසර රටටත්, සමාජයටත් එල්ල කළ බලපෑම දෙස ආපසු හැරී බැලිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතුව බවයි 2022 නව වසර වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

අභියෝග හඹාගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වන බව සිය විශ්වාසය වන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

පවතින වසංගත තත්ත්වය හමුවේ අඩපණවූ ආර්ථිකය සහ ජන ජීවිතය ඉන් වඩාත් සුරක්ෂිත වනු ඇති. ඒ සඳහා වන සැලසුම් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාවට නැංවීමට හැකියාව පවතිනවා. සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළින් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

ජයගත් අභියෝගසේම ලැබූ අත්දැකීම් නව වසරේ ඒ සඳහා අපව දිරිගන්වන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ දැක්වෙන්නේ. එළඹුණු නව වසර ජනතාවට සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවන පරිවර්ථනීය වසරක් බවට පත් කරන ලෙස සැමට ආරාධනය කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුභාශිංසන පණිවුඩයේ දැක්වෙන්නේ රජයක් ලෙස පසුගිය වසරේ ප්‍රමුඛතාවය ලබාදුන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි. වසංගතය හමුවේ කිසිදු සංවර්ධන කටයුත්ක් නවතා දැමීමට රජය ක්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් සංවර්ධන අරුණළු විහිදුවාලීම සිය රජයේ අපේක්ෂාව වන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

ඒ වෙනුවෙන් සමාජ, ආර්ථික හා දේපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජයගත යුතුයි. රටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගවලට මුහුණ දෙමින් විසදුම් ඉදිරිපත් කරන්නන් බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නව අවුරුදු සුභාශිංසන පණිවුඩයේ දැක්වෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නව අවුරුදු සුභාශිංසන පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. අභාග්‍ය සම්පන්න කාල සමයක් තුළ සකළ ලෝකවාසීන්ටම අලුතින් සිතිය යුතු පාඩම් සොබාදහම විසින් නිහඬව කියාදී ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ පිළිබඳ අධිෂ්ඨානශීලීව කල්පනා කරමින් නව වසර අලුත් ආරම්භයක හැගීම් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් පරිවර්ථනය කරගත යුතුයැයි විශ්වාස කළ යුතු වනවා. 

රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවටම ජවය ශක්තිය සහ ධෛර්්‍ය ප්‍රාර්ථනා කරන බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.