Monday, April 29, 2024

General line - 0115112241

මහවැලි ගඟේ සංවේදී කලාපයක දැවැන්ත වැලි කැණිමේ ජාවාරමක්




ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ සාෆිනගර් ගංඟා රක්ෂිත ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී කලාපයක දැවැන්ත වැලි කැණිමේ ජාවාරමක් සිදු වෙමින් ඇතැයි පරිසරවේදීන් පවසනවා. ඔවුන් පවසන්නේ ඉකුත් දෙසැම්බර් මස අගභාගයේදී හෙක්ටයාර් 27 ක භූමි ප්‍රමාණයක වැලි කැණීම් සඳහා අවසර ලබා දී ඇති බවයි. 

මෙම වැලි කැණීම් සඳහා අවසර ලබා දී ඇත්තේ පරිසර තක්සේරු වාර්තාවක් හෝ ලබාගෙන නොමැතිව බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් පැවසුවේ. 

මේ වන විට ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය හරහා ගලා බසින මහවැලි ගඟේ සෑම මීටර් 17කටම වැලි කැණීම් සඳහා එක බලපත්‍රයක් බැඟින් ලබාදී ඇති බවයි අනාවරණ වන්නේ. එම කිසිදු බලපත්‍රයක් ලබාදී ඇත්තේ පාරිසරික තක්සේරු වාර්තාවක් ලබාගෙන නොවන බවද පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් පැවසුවා. මේ දක්වා පමණක් එලෙස නිකුත් කර ඇති වැලි බලපත්‍ර සංඛ්‍යාව 1,301ක්.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් නෙත් නිවුස් මේ පිළිබඳ සෘජුව ප්‍රශ්න කළා. 

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ සාෆිනගර් ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී කලාපයක මෙලෙස දැවැන්ත වැලි කැණිමේ ජාවාරමක් සිදුවන බවට වාර්තා වන්නේ මෙරට ගංඟා සහ ගං ඉවුරු සංරක්ෂණය සඳහා “සුරකිමු ගංඟා” නමින් දැවැන්ත ව්‍යාපෘතියක් ඉකුත් වසරේ මාර්තු මාසයේදී ආරම්භ කර ඇති පසුබිමකයි. එබැවින් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමක් කළා.

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ සාෆිනගර් ප්‍රදේශයේ මිරිස් වගාවක් සඳහා අවසර ඉල්ලා තිබු බවයි. ඒ සඳහා අදාල ආයතනවලින් අවසර ඉල්ලා ඇත්තේ මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, ප්‍රාදේශීය ලේකම් හා වාරි මාර්ග මෙන්ම පුරා විද්‍යා බලධාරීන් ද මිරිස් වගා ව්‍යාපෘතියට භූමිය ලබාදීම සඳහා නිර්දේශ ලබාදී ඇති බවද පරිසර අමාත්‍යාංශය පැවසුවා. ඒ අනුව මිරිස් වගා ව්‍යාපෘතියට භූමිය සැකසීමට ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ සාෆිනගර් ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී කලාපයේ වැලි ඉවත් කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්්‍යාංශය අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.