Tuesday, May 7, 2024

General line - 0115112241

අන්තවාදීන් අතින් ඝාතනය කෙරැණු ප්‍රියන්තට මිලක් ගෙවා ගැලවෙන්නට හදන පකිස්තානය.




“මිනීමැරුම සිදු වුණේ සිකුරාද දවසක.... ඒ එයාලගෙ ජුම්මා දවස.... ඒ කාලෙ කම්හලේ වැඩ වර්ජනයක් තිබුණා....  වැටුප් විෂමතා මුල්කරගෙන....කොම්පැණියේ අයිතිකරු ජර්මනියේ ඉන්න නිසා මගේ මල්ලිට වැඩ බාරගන්න කිව්වා.  කම්හලේ සේවකයෙකු විරෝධතාව ගැන ඔහුට කියන්න ඇවිත් තිබුණා. ඔවුන්ට නැවත සේවයට වාර්තා කරන බවත් ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න පසුව සාකච්ඡා කරන බවත් මගේ මල්ලී  සඳහන් කරලා තිබුණා."

ඒ සිය ප්‍රියන්ත කුමාර දියවඩනගේ පිළිබඳ ඔහුගේ වැඩමහල් සහෝදරයා දැන සිටි අවසන් තොරතුරයි...

කුරාණයේ වදන් ඇතුලත් ආගමික පෝස්ටරයක් ඉරා දමමින් ආගමට අපහාස කළ බව පවසමින් පාකිස්ථානයේ සියල්කොට් නුවර කර්මාන්තශාලාවේ අන්තවාදීන් පිරිසක්  සුපුරුදු  වේශයෙන් ක්‍රියාත්මක වී තිබුණි.

ජීවිතය හිඟමන් යදිමින් තනිව සටන් කළ ප්‍රියන්ත කුමාර දියවඩන පසු පස හඹා ආ අන්තවාදී මිනීමරුවන් පිරිස , ඔහුට පහර දී ඝාතනය කර පුළුස්සා දමන තුරුම නොනැවතුණි.

ප්‍රියන්ත කුමාර මහාතා ඝාතනය කර ඔහුගේ සිරුරට ගිනි තබමින් මිලේච්ඡ සතුටක්  ලබමින් සිටි අනත්වාදී  නොමිනිසුන් පිරිස මේ ඛේදාන්තය සමාජ මාධ්‍ය ඔස්සේ විසුරුවා හරින්ට තරම්  කෲර වූවා.

ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සළුවෙන් වැසුණු පාකිස්තාන මිලේච්ඡ අන්තවාදයේ නිරුවත ලොව ඉදිරියේ නිරාවරණය වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු එම වී⁣ඩියෝ පට හරහායි.

අදාල ඝාතනය සඳහා සහභාගී වුවන් කිසිවෙක් සිය අනන්‍යතාව හෝ සැගවීමට කිසිදු උත්සහක් හෝ නොගෙන සිටියේ පාකිස්ථානය තුල අන්තවාදීන්ට ඇති පිළිගැනීම නිසා විය යුතුයි යන්න  ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබුණා.

අදාල ම්ලේච්ඡ ඝාතනය  සම්බන්ධයෙන් සෟජුවම චෝදනා එල්ල වුනේ  පාකිස්ථානය තුල කලක් තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබූ TLP හෙවත් ටෙහෙරික් - ඊ - ලබ්බයික් පාකිස්තාන් නැමැති  අන්තවාදී සංවිධානයටයි.

පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන පාකිස්ථානයේ සාමය පිළිබඳ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මුහම්මද් අමීර් රානා සඳහන් කලේ ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දේව අපහාසයක් සිදු කර නොමැති බව පරීක්ෂණවලදී ඔප්පු වී ඇති බවයි. 
 
මේ ඝාතනය සිදු වන්නේ පකිස්තානයේ පවතින blasphemy නීති යටතේයි. ආගමික විශ්වාසයන් හට අගෞරව කරන්නෙකුට ලබා දෙන දඬුවම් සම්බන්ධව මෙම නීති ඔස්සේ කියවෙනවා.
බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලයේ සිට මෙම නීති, වසර 5 හෝ 3 වැනි සිර දඬුවම් ලබා දෙමින් පවත්වාගෙන ආ පකිස්තානය, 1980 දශකය තුල දී සිය ආගමික ශාස්තෲවරයා හට අගෞරව කරන්නන් හට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය යුතු බවට, සංශෝධනය කළා.

මේ ක්‍රියාත්මක වෙන්නේ එම නීතිය නෙමෙයි. එහි කැලෑ නීතිය. 

අන්තර්ජාතික මාධ්‍යයන්ට අනුව, පකිස්තානය තුල පෞද්ගලික පලිගැනීම් වලට පවා බහුල වශයෙන් මෙම නීති පාවිච්චි වනවා. පොලීසිය විසින්, දේශපාලකයන් විසින්, ප්‍රාදේශීය නායකයන් විසින්, තමන්ට විරුද්ධ වන බොහෝ අය නිහඬ කිරීම සඳහා මෙම නීති අනිසි විදිහට පාවිච්චි කරන බව සඳහන්. 

මෙම නීති බොහෝ විට අන්‍යාගමික සුළු ජාතීන්ට එරෙහිව භාවිතා වන අතර බොහෝ අවස්ථාවල චූදිතයන් උසාවියකදී වැරදිකරුවන් බව ඔප්පු කිරීමට පෙර ඔවුන්ව ඝාතනය කරනු ලබනවා.
අපහාස කිරීමේ සිද්ධීන් වටා ඇති භීතියේ සංස්කෘතිය කොතරම් ප්‍රබලද යත් විත්තිකරු වැරදිකරුවෙකු කරනු හැර වෙනත් කිසිවක් සිදුකිරිමට විනිසුරුවන්ද බොහෝ විට බිය වනවා.

ජාත්‍යන්තර සහ පකිස්තාන මානව හිමිකම් සංවිධාන පවසන්නේ ආගමට අපහාස කිරීමේ චෝදනා බොහෝ විට ආගමික සුළුතරයන් බිය ගැන්වීමට සහ පුද්ගලික ගැටුම් සඳහා භාවිතා කරන බවයි.

හඩ්සන් ආයතනයේ විශාරදයෙකු සහ එක්සත් ජනපදයේ හිටපු තානාපති හුසේන් හකානි පැවසුවේ පාකිස්තානය වසර ගණනාවක් තිස්සේ අන්තවාදී ඉස්ලාම්වාදීන්ට අනුබල දී ඇති බවයි. “විපතට පත් වූවන් ආරක්ෂා කරනවා වෙනුවට ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය සිදු කරන අයට රාජ්‍ය යාන්ත්‍රණය සහාය දෙනවා. “ටීඑල්පීයේ නැගීම, අපහාස චෝදනා මත මිනීමැරුම් සාමාන්‍යකරණය කර ඇත. කලින් අහඹු සිදුවීම් වූ දේ දැන් වසංගතයක් බවට පත්වෙමින් තිබේ.

TLP සංවිධානය ඉම්රාන් ඛාන් රජය විසින් තහනම් කරන ලද අන්තවාදී  සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණද ,ඔවුන්  විසින් 2021වසරේ  ඔක්තෝම්බර් මාසයේදී ලාහෝර්හි දැවැන්ත විරෝධතා රැල්ලක් ආරම්භ කර, පොලිස් නිලධාරීන් පිරිසක්ද  මරා දැමීමෙන් පසුව ඒම  සංවිධානයේ තහනම ඉවත් කිරීමට ඉම්රාන් ඛාන් රජයට සිදු වුණා.

ඒ් තම රජය අනත්වාදයට විරුද්ධ බවට පුන පුනා විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටි පසුබිමක වීම විමතියට කරුණක්.

කෙසේ වෙතත් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාරට  මෙම කුරිරු අමානුෂික ප්‍රහාරය එල්ල කළ දිනය පාකිස්ථානය ලජ්ජාවට පත්කළ දිනයක් බවයි. 

අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර  නීතියෙන්ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඒ් දින කිහිපය තුලදී විවිධ ප්‍රකාශ මගින් සඳහන් කළා.

ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධියට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා තමා පුද්ගලිකව මැදිහත්වී කටයුතු කරන බවටද ඔහු ප්‍රතිඥා ලබා දුන්නා. 

ප්‍රධාන සැකකරු ෆර්හාන් ෆෙරිසස් නමැත්තා ඇතුලු  මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තද නඩු විභාගය අවසන් කිරීමට හෝ ඝාතකයින්ට සඩුවම් ලබා දීමට පාකිස්ථාන රජය තවමත් අපොහොසත් වී තිබෙනවා.

මේ දක්වා දඬුවම් හිමි වූයේ එම සිද්ධියේ දර්ශන සමාජ මාධ්‍යයට මුදා හැරි එක් අයෙකුට පමණයි.
 
ඒවන් පසු බිමකදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ පවුලේ අනාගතය වෙනුවෙන් සියල්කොට්හි ව්‍යාපාරික ප්‍රජාව විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂයක වන්දි මුදලක් ප්‍රියන්තගේ බිරිඳගේ ගිණුමට  බැර කළ බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.
 
ඊට අමතරව ඔහු සේවය කළ සියල්කොට් කර්මාන්තශාලාවෙන් ඔහුට හිමි වූ වැටුප  තවත් වසර 10ක් යනතුරු ප්‍රියන්ත කුමාරගේ  බිරිඳට ගෙවීමටද පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා.

ඒවන්  පසු බිමක් තුල මෙරට අමාත්‍ය මණ්ඩලයද ප්‍රියත්ත කුමාර මහාතා‌ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් කැබිනට් අනුමැතිය සහිතව රුපියල් ලක්ෂ 25 ක වන්දි  මුදලක්  ලබා දුන්නා. 

ම්ලේච්ඡ අන්තවාදීන් අතින් අමු අමු‌වේ ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ බිරිඳත්  කුඩා දරු දෙදෙනාත් මහා රැකවරණයක් අහිමි වූවන් ලෙස ඔවුන්ගේ ලෝකයේ හුදෙකලා වෙද්දී  පාකිස්තානය එහි වටිනාකම රුපියල් සතවලින් මිනුම් කළා.

හුරතල් දරුවන්ට අහිමි පිය සෙනෙහසක් දයාබර බිරිඳකට අහිමි ස්නේහයත් මිල කිරීමට නොහැකි බව කිසිදිනෙක අනත්වාදීන් දැන ගන්නේද නැත.
නමුත් ඒ් කිසිදු මුදලකට  පවුලට අහිමි වූ ආදරයත් රැකවරණයත් නැවත ලබා දිය නොහැකි බව අන්තවාදයට තවමත් උඩගෙඩි දෙන පාකිස්ථානුවන් යම් දිනක වටහා ගනු ඇති.

ප්‍රියන්ත කුමාර  මහතාගේ ම්ලේච්ඡ ඝාතනය සැළ වූ පසු ඔහුගේ නිවසට ගිය මාධ්‍යවේදියෙක් ප්‍රියන්ත කුමාරගේ බිරිඳගෙන් විමසා සිටියේ  ඔබේ සැමියා  විදේශ ගත වූ දවසේ ඔබට මොන වගේ හැගීම්ක්ද දැනුනේ ද යන්නයි.

පැමිණ සිටි සියළු මිනිසුන් සහ අදාල ප්‍රකාශය ජනමාධ්‍ය  ඔස්සේ දුටු සියල්ලන් කම්පාවට පත් කරමින් වේදනාත්මක සුසුම් පොදක් මැදින් ඇය  පිළිතුරු දුන්නා...
"මට ඒදා බොහොම හිස් බවක් දැනුනේ...."

දැන් ඇගේත් ඇගේ දරුවන්ගේත් ජීවිතවලට නැවත පිරවිය නොහැකි , ප්‍රකෝටි ගණන් ගෙවා හෝ  මිලදී ගත නොහැකි අනන්තාපරිමාණික ප්‍රේමය හිස්ය.