Monday, May 6, 2024

General line - 0115112241

ගෑස් උඳුන් සඳහා ප්‍රමිතිය අනිවාර්යය කිරීම ලගදීම




ගෑස් උඳුන් සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීම සඳහා වන කටයුතු  මේවනවිට කඩිනම් කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ තවත් සති දෙකක් ඇතුළත ඒ සඳහා වන නීති සකස් කිරීමට කටයුතු කරන බවයි. 

ඉකුත් සමයේ වාර්තා වූ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ පිපිරීම් මෙන්ම ගිනි ගැනීමේ සිද්ධීන් සමග සිදුකළ නිරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. මෙලෙස පිපිරීම් සහ ගිනිගැනීමට කරුණු 11 ක් බලපා ඇති අතර ඉන් කරුණු 07 ක් සඳහා අවශ්‍ය විසඳුම් මේවනවිට ලබාදී අවසන්. ඒ අනුවයි ගෑස් වල සංයුතිය මෙන්ම රෙගියුලේටර් සහ ගෑස් බට ඇතුළු කරුණු 07 ක් සඳහා ප්‍රමිතිය අනිවාර්යය කරමින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කළා. 

ගෑස් උඳුන් සඳහා ප්‍රමිතිය අනිවාර්යය කිරීම සහ ඒ ආශ්‍රිත තවත් කරුණු 03 ක් සම්බන්ධයෙන් නීති සකස් කිරීමට පියවර ගෙන තිබුණ ද එලෙස උඳුන් සඳහා ප්‍රමිතිය ආනිවාර්යය කළහොත් මෙරට ජනතාවට ගෑස් උඳුනක් මිලදී ගැනීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවනවා. එබැවින් එම තීරණය ගැනීම ප්‍රමාද කිරීමටයි තීරණය කෙරුණේ. ඒ අනුව මේවනවිට ප්‍රමිතිය සහිත ගෑස් උඳුන් මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා සමාගම් කිහිපයක් කටයුතු කරමින් සිටිනවා. 

තවද, මේවනවිට ගෑස් උඳුන් ආනයනය කරන අදාළ සමාගම් වෙත ද ප්‍රමිතිය අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර ජනතාවට දරා ගත හැකි මුදලකට ප්‍රමිතියෙන් යුතු ගෑස් උදුන් ලබා දීමට කටයුතු කරන ලෙසද දැනුවත් කර ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ. 

ගෑස් සම්බන්ධයෙන් ඉකුත් දා නිකුත් කළ ගැසට් නිවේදනයට ගැස් උදුන්වල ප්‍රමිතයද ඇතුළත් කළේ නම් මෙරට වෙළදපොලේ ගෑස් උදුන් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවන බවයි තාක්ෂණ අමාත්‍යාංශයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ. ඒ අනුව ගෑස් උදුන් සඳහා ප්‍රමිතිය අනිවාර්ය කිරීම කල් දැමීම සිදු කර තිබෙනවා.