Friday, May 10, 2024

General line - 0115112241

අමෙරිකාවේ ඔත්තුකරුවෙකු වූ IS නායකයා පරලොව යැවු ඉරාක බුද්ධි මෙහෙයුම




ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායකයා වන අබු ඉබ්‍රාහිම් අල් - හෂිමි අල් - කුරේෂි ඉලක්ක කර ගනිමින් මිට දින දෙකකට ඉහතදී අමෙරිකානු විශේෂ බළකාය විසින් දියත් කළ මෙහෙයුමකදී ඔහු ජිවිතක්ෂයට පත්වුවා. ඒ සිරියාවේ ඉඩ්ලිබ් හි ඔහු සැඟවී සිටි නිවාසය තුලදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින්.

ISIS සංවිධානයේ පළමු නායකයා වශයෙන් කටයුතු කළ අබු බකර් අල්- බග්ඩාදි ඉලක්ක කරමින් 2019 වර්ෂයේදී අමෙරිකානු හමුදාව විසින් දියත් කළ මෙහෙයුමේදී ඔහු මේ අයුරින්ම මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින් ජිවිතක්ෂයට පත්වූ අතර ඉන් පසුව සංවිධානයේ නව නායකත්වය සඳහා අබු ඉබ්‍රාහිම් පත් කෙරුණා.

2007-2008 වර්ෂයේදී අමෙරිකානු හමුදාව විසින් ඉරාකයේදී සිදුකළ මෙහෙයුමකදී අබු ඉබ්‍රාහිම් අල් - හෂිමි අල් - කුරේෂි මෙන්ම අබු බකර් අල්- බග්ඩාදි අත්අඩංගුවට ගෙන සිරගත කර තිබු අතර එහිදී මොවුන් දෙදෙනා එකිනෙකා හඳුනා ගෙන තිබෙනවා.

අබු ඉබ්‍රාහිම් ඉරාකයේ සදාම් හුසේන් ගේ හමුදාවේ සේවය කරනු ලැබූ නිලධාරියෙකු වන අතර ඔහු පසුව අමෙරිකානු හමුදාවේ ඔත්තුකරුවෙකු ලෙසද කලක් කටයුතු කර තිබෙන අයෙක් ලෙසයි ප්‍රසිද්ධ වන්නේ.

ඉරාකයේ පිහිටි අමෙරිකානු සිර කඳවුරෙන් නිදහස් වීමෙන් පසු අබු බකර් අල් -බග්ඩාදී IS සංවිධානය පිහිටුවා ගැනීමෙන් පසු එහි ප්‍රබල චරිතයක් ලෙස අබු ඉබ්‍රාහිම් පත්වුවා. එම සංවිධානය තුල දැඩි ඉස්ලාමිය මතධාරීත්වය කාවැද්දීම සිදුකරනු ලැබුවේ අබු ඉබ්‍රාහිම් වන අතර ඔහුට " ප්‍රොෆසර්" යන අනවර්ථ නාමයක් ද පටබැදි තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

අල් - බග්ඩාදී ගේ මරණයෙන් පසුව IS සංවිධානයේ නායකත්වයට පත්වූ අබු ඉබ්‍රාහිම් සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර බුද්ධි අංශ දිගින් දිගටම හඹා ගියත් මෑතක් වන තෙක් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

ISIS සංවිධානයේ හිටපු නායක අල්- බග්ඩාදි මෙන් සිය අනුගාමිකයින්ට හඬ පට ඔස්සේ ආමන්ත්‍රණය කිරීම අබු ඉබ්‍රාහිම් විසින් සිදුනොකළ අතර නව තාක්ෂණයේ පිහිටෙන් තමා සිටින ඉසව්ව ගැන සතුරු බුද්ධි අංශ වෙත ඉව වැටීමට ඇති ඉඩ ඇහිරීමට ඔහු එසේ කටයුතු කරන්නට ඇති බවයි විදෙස් බුද්ධි අංශ සැකපළ කර සිටින්නේ.

ඒ වෙනුවට තමා ජිවත් වූ මහල් 03 කින් යුත් නිවසේ දෙවන මහලේ තමාගේ කිට්ටුම සාමාජිකයෙකු සහ ඔහුගේ බිරිඳ නතර කරගෙන සිටි IS නායකයා ඔවුන් හරහා සිය නියෝගයන් සහ උපදෙස් අනුගාමිකයින්  වෙත යොමු කිරිමට කටයුතු කර තිබු බවයි අනාවරණය වී ඇත්තේ.

IS සංවිධානය විසින් මෝසුල් නගරය අත්පත් කර ගැනීමෙන් පසු එහි සිටි කුර්දි සම්භවයක් සහිත වැසියන් විශාල පිරිසක් ඝාතනය කිරිමට අණ දුන් බවට අබු ඉබ්‍රාහිම්ට සෘජු චෝදනා එල්ල වී තිබුණා. 

දැඩි මතවාදී ක්‍රමයන් හේතුවෙන් මොහු විසින් සිදුකළ දරුණු අපරාධ ගණනාවක් හේතුවෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අබු ඉබ්‍රාහිම්ගේ හිසට අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් ද වෙන් කිරිමට පියවර ගැනුණා. ඒ 2020 වර්ෂයේදී.

ඉතා නිහඩ සහ අප්‍රසිද්ධ චරිතයක් වූ IS නායකයා වූ අබු ඉබ්‍රාහිම් අල් - හෂිමි අල් - කුරේෂි ගැන පළමු හෝඩුවාව ලැබි තිබුනේ ඉරාක බුද්ධි අංශ වෙතයි. එයද ඉතා අහම්බයෙන් සිදුවූ සිදුවීමක් හරහායි.

ඒ මිට සති දෙකකට පමණ ඉහතදී නිරිතදිග සිරියාවේ IS ත්‍රස්තයින් රඳවා සිටින රැඳවුම් කඳවුරක් ඉලක්ක කර ගනිමින් ISIS සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයත් සමග දීර්ඝ කාලයක් නිහඬව සිටි අබු ඉබ්‍රාහිම් කරළියට පැමිණ තිබුණා.

ඒ, එම කඳවුරේ සිටින සිය සටන්කාමින් ගලවා ගැනීම IS සංවිධානයේ ප්‍රධාන අරමුණින් යුතුව එල්ල කළ ප්‍රහාරයේදී එම කඳවුරේ සිටි IS සටන්කාමින් අතර සිටි ඔත්තුකරුවන් විසින් මෙම ප්‍රහාරය සඳහා අණ දීම සිදුකිරිම කරනු ලබන්නේ IS නායක අබු ඉබ්‍රාහිම් බවත් ඔහු සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්වීමත් සමගයි.

එලෙස රැස් කරනු ලැබූ බුද්ධි තොරතුරු අමෙරිකානු බුද්ධි අංශ වෙත ලබාදීම සිදුකර තිබු අතර එම තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ඉකුත් බ්‍රහස්තින්දා අමෙරිකානු විශේෂ බලකායේ සෙබළුන් 24 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා යොමු කර තිබුණා.

ප්‍රතිවාදී හමුදා සාමාජිකයින් ගේ ග්‍රහණයට නතුවීමට පෙර IS නායකයා තමන් සන්තකයේ තබාගෙන තිබු මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගෙන ජිවිතක්ෂයට පත් වු අතර එහිදී ඔහුගේ බිරින්දෑවරුන් සිව්දෙනා සහ ළමුන් 06 දෙනා ද ජිවිතක්ෂයට පත්වුවා.

මෙම මෙහෙයුමේදී කිසිදු අමෙරිකානු හමුදා භටයෙකු අනතුරට ලක් නොවුණු අතර ඔවුන්ට අයත් Black Hawk හෙලිකොප්ටර් යානයක තාක්ෂණිය දෝෂයක් ඇතිවීම නිසා එය එම ස්ථානයේදීම විනාශ කිරීමට පියවර ගෙන තිබුණා.