Tuesday, May 7, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව ගැන තීරණය පස්වරුවේ




අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුකරනවාද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් පස්වරුවේ තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. 

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ අද දිනයේ විදුලි පරිභෝජනය පිළිබඳ දත්ත අධ්‍යනය කර ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

ඩීසල් නොමැතිවීමෙන් ඉකුත් දෙවැනිදා සිට කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රියවී තිබෙනවා. මේ හේතුවෙන් මෙගාවොට් 297 ක් ජාතික විදුලි පද්ධතියට අහිමි වුණා. 

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට බලපෑමක් නොවන බවයි ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කළේ. 

කැළණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 165 ක් සංයුක්ත චක්‍රීය බලාගාරය සඳහා “නැප්තා” ලීටර් මිලියන 2 යි දශම 6 ක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙරේදා ලබා දුන්නා. ඉකුත්දා මෙරටට පැමිණි නෞකාව සඳහා ගෙවීම් සිදුකිරීමෙන් අනතුරුව ඩීසල් ගොඩබෑම ආරම්භ කිරීමටයි බලශක්ති අමාත්‍යංශය අපේක්ෂා කරන්නේ.

මේ අතර නඩත්තු කටයුක්තක් හේතුවෙන් අක්‍රිය කළ කැළණිතිස්ස “සොජිට්ප්ස්” බලාගාරය ද යළිත් සක්‍රිය කර තිබෙනවා. 

ඉකුත් දින කිහිපයකම ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු වුණා. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය එලෙස විදුලි කප්පාදුවක් සිදුකර තිබුණේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරවයි. ඒ පිළිබඳ විමර්ශණයක් සිදුකරන බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවා.

විදුලි වෘත්තිය සමිති පවසන්නේද ඊට අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්.

විදුලි කප්පාදුවට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම බලධාරීන්ගේ වගකීමක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

විදුලි කප්පාදුව ඇතැම් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.