Wednesday, May 1, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු ගුවන් යානාවකට එල්ල වූ චීන ලේසර් ප්‍රහාරය දුරදිග යයි




තම ගුවන් හමුදා යානයකට ලේසර් ආලෝක දහරා එල්ල කිරීම සම්බන්ධයෙන් වහාම කරැණු පැහැදිළි කරන ලෙස ඕස්ට්‍රේලියාව චීනයට අවධාරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සදහන් කර ඇත්තේ  මෙම භයානක සහ අපරීක්ෂාකාරී ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා කරැණු පැහැදිළි කිරීමට චීනය පියවර ගත යුතු බවයි. 

 පසුගිය සතියේ පැසිෆික් සාගරයේ අරෆූරා මුහුදු කලාපයේ ඔස්ට්‍රේලියාව සහ පැපුවා නව ගිනියාව අතර දේශසීමාවේදී ඕස්‍ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් පීඅට වර්ගයේ ජෙට් යානයකට චීන නාවික හමුදාවේ යාත්‍රා දෙකක් මගින්  ලේසර් ආලෝක දහරා එල්ල කර තිබුණා.

පසුව අනාවරණය වී තිබුණේ චීන නාවික හමුදාවට අයත් හෙෆෙයි නම් මිසයිල් නාශක නෞකාව සහ ජින්ග්ජැන්ශාන් නම් ප්‍රවාහන නෞකාව මෙම ක්‍රියාවට සම්බන්ධ වී ඇති බවයි.

මෙය ආක්‍රමශීලී මෙන්ම වෘත්තිමය නාවික හමුදාවකට නොගැ‍ලපෙන භයානක සහ අපරීක්ෂාකරී ක්‍රියාවක් බැවින් සුළුකොට තැකිය නොහැකි බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

කෙසේවෙතත්, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන් බින් සදහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාව මේ සම්බන්ධයෙන් දක්වන කරැණු අසත්‍ය බවයි.

චීන නෞකාවලට ජාත්‍යන්තර මුහුදේ නිදහසේ ගමන් කිරීමට ඇති අයිතියට ඕස්ට්‍රේලියාව ගරැ කළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.