Wednesday, May 1, 2024

General line - 0115112241

ඉදිරි පැය 48 තීරණාත්මකයි : අමෙරිකාව අනතුරු අඟවයි (PHOTOS)




ඉදිරි පැය 48 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක වනු ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කර සිටිනවා. 

අමෙරිකානු බුද්ධි අංශ සිය නවතම වාර්තාවන් අනුව සඳහන් කර සිටින්නේ ඉදිරි පැය 48ක කාලය තුලදී යුක්රේනය ආක්‍රමණය කිරීමට සිය හමුදාවන් යෙදවීමට රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් කටයුතු කරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලනාධිකාරිය විසින් යුක්රේන ජනාධිපති Volodymyr Zelensky වෙත දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය රටවල් තම රට ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීම සිදුකරන්නේ නම් ඊට පිළිතුරු ලෙස වේදනාත්මක පිළිතුරක් බලාපොරොත්තු වන ලෙස රුසියාව සඳහන් කර ඇත.

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක් විසින් රුසියාවේ බැංකු සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කර ගෙන සම්බාධක පනවා පැය 24ක් ගතවීමට පෙර යුක්රේනයේ බැංකු, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු එරට රජයට අයත් ප්‍රධාන පෙලේ ආයතන රැසක වෙබ් අඩවි ඉලක්ක කර ගෙන විශාල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත.

යුක්රේන තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මෙම සයිබර් ප්‍රහාරය දියත් කරනු ලැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

කෙසේ වෙතත් මිට දින කිහිපයකට පෙර අමෙරිකානු බුද්ධි අංශ විසින් යුක්රේනයට අනතුරු අඟවමින් කියා සිටියේ රුසියානු ආක්‍රමණයට පෙර විශාල සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.