Thursday, May 2, 2024

General line - 0115112241

රුසියානු හමුදා යුක්රේන අගනුවරට ඇතුළු වෙයි




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝගයට අනුව යුක්රේනය ආක්‍රමණය කරන රුසියානු හමුදාව මේවනවිට යුක්රේනයේ කිව් අගනුවරට ඇතුළු වී තිබෙනවා. ඒ බව තහවුරු කරමින් යුක්රේන රජය පැවසුවේ අගනුවරට තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල වෙමින් ඇති බවයි.

එමෙන්ම රුසියානු යුද්ධ ටැංකි කිව් අගනුවර උතුරු ප්‍රදේශවලින් නගරයට ඇතුළු වෙමින් ඇති බවත් යුක්රේනය ප්‍රකාශ කළා.

මේ අතර යුක්රේන ආරක්ෂක බලකාය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබුණේ වයස් භේදයකින් තොරව සිවිල් වැසියන්ට හමුදාව සමග එක්විය හැකි බවයි. ඒ අනුව බාලවයස්කරුවන්ට ද ඒ සඳහා අවසර ලබාදෙන බව ඔවුන් සඳහන් කළා.

කෙසේවෙතත් එම ප්‍රකාශය වෙනස් කරමින් යුක්රේන ආරක්ෂක බලකාය පසුව දැනුම් දුන්නේ වයස් සීමාවන් ලිහිල් කිරීම බලපැවැත්වෙන්නේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට බවයි.

සතුරාට විරුද්ධවීමට සදාචාරාත්මකව හා ශාරීරිකව සූදානම්ව සිටින වයස අවුරුදු 60 ට වැඩි දේශප්‍රේමීන්, හමුදාව සමග එක්වන ලෙසයි යුක්රේන ආරක්ෂක බලකාය පසුව දැනුම් දුන්නේ.

කෙසේවෙතත් මේවනවිට කිව් අගනුවර තුළ පතරොම් සහිත තුවක්කු 18, 000 ක් පමණ බෙදා හැර ඇති බව යුක්රේන ආරක්ෂක අංශ පවසනවා.

හිතවාදි පාර්ශවයන්ගෙන් යුක්රේනයට තවදුරටත් නවීන අවි ආයුධ හිමිවන බවයි ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කළේ.
 

යුක්රේනය මේවනවිටත් එරට සිටින අවුරුදු 18 ත් 60 ත් අතර පිරිමි පුද්ගලයින්ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා.

ඊයේ ආරම්භ වූ යුදමය වාතාවරණය තුළ මේවනවිට යුක්රේනයේ සිවිල් වැසියන් 25 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ. ඒ අතරට ළමුන් දෙදෙනෙකු ද අයත්. ගුවන් ප්‍රහාරවලින් තවත් තවත් 102 දෙදෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ද එම සංවිධානය ප්‍රකාශ කළා.

මේ අතර බ්‍රිතාන්‍යය ආරක්ෂක ලේකම් බෙන් වොලස් පවසන්නේ යුක්රේන ආක්‍රමණය හමුවේ මේවනවිට රුසියාවට මිනිස් ජීවිත 450 ක් පමණ අහිමිවී ඇති බවයි.
කෙසේවෙතත් තමන්ට සිදුවූ අලාභ හානි පිළිබඳ රුසියාව මෙතෙක් කිසිඳු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.  

මේ අතර යුක්රේනය තුළ රුසියාව සිදුකරන යුදමය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි නිරීක්ෂණයකින් පසුවන බව විචාරකයින් පවසනවා.

රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්රේනයෙන් ඔබ්බට ආක්‍රමණයක් සිදුකිරීමට ඉඩ ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබේදැයි අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ රුසියානු ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ එය යැයි පැවසීමට බුද්ධි තොරතුරු අවශ්‍ය නොවන බවයි.