Monday, April 29, 2024

General line - 0115112241

යුක්‍රේනයට යුද ආධාර ලබාදීමට අමෙරිකාවෙන් තීරණයක්




යුක්‍රේනයට ඩොලර් මිලියන 350 ක යුද ආධර ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. රුසියානු ආක්‍රමණයකට මුහුණදී සිටින යුක්‍රේනයේ ආරක්ෂාව උදෙසා එම ආධාර ලබාදෙන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ. 

මේ අතර රුසියාව ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවලට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. නේටෝ සංවිධානය සමඟ එක්වීමට එම රටවල් තීරණය කළහොත් ඔවුන්ට දේශපාලනික මෙන්ම යුදමය වශයෙන් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවටයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ. 

රුසියානු විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මාරියා සකරෝවා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පසුව නිවේදනය කළේ එය තර්ජනයක් නොව කරුණු පැහැදිලි කිරීමක් බවයි. 

ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකෙහි දේශසීමාවන් රුසියාවට මායිම්ව පිහිටා ඇති අතර එම රටවල් නේටෝ සංවිධානය සමඟ එක්වුවහොත් එය සිය නිවස ඉදිරිපිටට සතුරු පාර්ශවයන්ට ඒමට ඉඩ සැලසීමක් ලෙසයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර යුක්‍රේනයේ කිව් අගනුවර ආශ්‍රිත ප්‍රදේශවල අද දිනයේ දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියානු හමුදා නගරයේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සහ කළද එය මෙතෙක් සාර්ථකවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා කිව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බවයි.

ඒ අනුව අද දිනයේදී සිය අගනුවර අල්ලා ගැනීමේ රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මෙතෙක් පැවති යුද ගැටුම් හේතුවෙන් යුක්‍රේන සිවිල් වැසියන් 198 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

කිව් නගරයට ගුවනින් සහ ගොඩබිමින් අඛණ්ඩව ප්‍රහාර එල්ලවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියානු හමුදා සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ලකරන බවට යුක්‍රේනය චෝදනා කළ අතර රුසියාව එය ප්‍රතික්ෂේප කරනවා. 

කෙසේවෙතත් යුක්‍රේනය පවසන්නේ රුසියාව එල්ලකළ මිසයිල ප්‍රහාරයක් නිවාස සංකීර්ණයකට වැදී ඇති බවයි. තවත් මිසයිල ප්‍රහාර කිහිපයක් ගුවන්තොටුපළ ආසන්න ප්‍රදේශ කිහිපයකට එල්ලවී ඇති බවද යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.