Monday, April 29, 2024

General line - 0115112241

සැතපුම් තුනක රුසියානු යුද රථ පෙළක් කිව් අගනුවරට - ඉදිරි පැය 24 තීරණාත්මක බව යුක්රේනය කියයි




රුසියානු හමුදා මෙහෙයුම හමුවේ යුක්‍රේනයේ නගර කිහිපයක තවදුරටත් දරුණු ගැටුම් ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රිය පුරා යුක්‍රේනයේ කිව් අගනුවරින් හා කාකිව් නගරයෙන් මෙන්ම චර්නිව් නගරයෙන් වෙඩි හඩවල් සහ විශාල පිපිරුම් හඩවල් ඇසුනු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

එම නගරවලට අඛණ්ඩව ශෙල් ප්‍රහාර එල්ල වෙමින් ඇති බවත්, ඇතැම් ප්‍රදේශ කලු දුමාරයෙන් වැසී ඇති බවත් වාර්තා වනවා. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය න්‍යෂ්ටික බලඇනි පවා සීරුවෙන් තබා ඇති මොහොතක යුක්‍රේනය තවදුරටත් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටින බවයි ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ.


යුක්‍රේනයේ කිව් අගනුවර අල්ලා ගැනීම රුසියානු හමුදාවේ අරමුණ වී තිබෙනවා. ඒ අනුව රුසියානු භට කණ්ඩායම් තවදුරටත් කිව් අගනුවර වෙත පැමිණෙමින් සිටින අතර ඔවුන් මේ වනවිට අගනුවරට සැතපුම් 40 ක් පමණ දුරින් සිටින බවයි වාර්තා වන්නේ. එලෙස අගනුවර වෙත ඇතුලු වෙමින් සිටින රුසියානු යුද රථ කිව් අගනුවරට ඇතුලු වන මාර්ගවල සැතැපුම් 3 ක දුරට විහිදී යන පරිදි පෙළට ධාවනය වන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප ද විදෙස් මාධ්‍ය අද නිකුත් කර තිබුණා. ඒ අනුව යුක්‍රේනය මුහුණ දෙමින් සිටින්නේ තීරණාත්මක පැය 24 කට බවයි එරට බලධාරීන් පවසන්නේ.


කෙසේවෙතත් රුසියානු රජය හා යුක්‍රේන රජය අතර සාම සාකච්ඡා වටය බෙලරූස් දේශසීමාවේදී අද පැවැත්වීමට නියමිතයි.