Tuesday, April 30, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට මුදල් ගත් සැකකරු ගැන පරීක්ෂණ යට ගැසුවාද ?




සේවා ස්ථාන මාරුවීම් ලබාදෙන බව පවසමින් සම්පත් ජයකොඩි නමැත්තෙකු විසින් පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ අනාවරණ පිළිබඳ මෙතෙක් කිසිඳු පාර්ශවයක් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වාර්තා වනවා. 

ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ද ප්‍රමාදවී ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

ඔහුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳ පාර්ශව කිහිපයකින්ම ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා. 

සම්පත් ජයකොඩි නමැත්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ අනාවරණයන් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම තොරතුරු ලබා ගත්තා. 

නෙත් නිවුස් කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකුගෙන් ද අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ද ලබා ගනු ලැබුවා. කෙසේවෙතත් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ 

සේවා ස්ථාන මාරුවීම් ලබාදෙන බව පවසා පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ලබාගන්නා සම්පත් ජයකොඩි නමැත්තා පිළිබද නෙත් නිවුස් අවස්ථා ගණනාවකදී අනාවරණය කළා.

ඒ, ඔහු සේවා ස්ථාන මාරුවීම් ලබාදෙන පවසමින් පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ඉල්ලා සිටින අයුරු දැක්වෙන හඬපට ද ප්‍රචාරය කරමින්. 

එහිදී සම්පත් ජයකොඩි නමැත්තා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම් ද අවභාවිත කරමින් පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ලබා ගැනීමට උත්සහ කරන අයුරුද අදාළ හඬපටවල ඇතුළත්ව තිබුණා. 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් දිගින් දිගටම කළ අනාවරණයන් හමුවේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති සී ඩී වික්‍රමරත්නගෙන් ඉල්ලා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි. ඊට අමතරව අදාළ සිද්ධිය කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තමා වෙත වාර්තාවක් යොමු කරන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර ද පොලිස්පතිවරයාට දන්වා තිබුණා.

සේවා ස්ථාන මාරුවීම් ලබාදෙන බව පවසා පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ලබා ගන්නා මෙම සම්පත් ජයකොඩි නමැත්තා පොලිස් දෙපාර්තමේන්තුවට කිසිඳු සම්බන්ධයක් නොමැති පුද්ගලයෙකු බවයි නෙත් නිවුස් අනාවරණ කළේ. එමෙන්ම ඔහු මුදල් ලබා ගනිමින් පොලිස් නිලධාරීන් වෙත සේවා ස්ථාන මාරුවීම් ලබාදෙන්නේ ද විධිමත් පටිපාටියෙන් බැහැරව බව ද නෙත් නිවුස් අනාවරණ කළා.