Tuesday, April 30, 2024

General line - 0115112241

ඩීසල් නැව් ප්‍රමාදයි - ජනතාව අදත් පෝලීමේ




මෙරට ඩීසල් තොග සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු මේ වන විට අවධානමකට ලක්ව තිබෙනවා. ඒ, අද පැමිණීමට නියමිතව තිබූ ඩීසල් නෞකාව ප්‍රමාදවීම හේතුවෙන්. මෙම නෞකාවෙන් ඩීසල් මෙටි්‍රක් ටොන් 28,500 ක් රැගෙන ඒමටයි නියමිතව තිබුණේ.

 තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 37,300 ක් රැගත් නෞකාවක්ද මෙරටට පැමිණීමට නියමිතව තිබුණා. එම නෞකාවද ප්‍රමාද වන බව මේ වන විට ප්‍රකාශවී තිබෙනවා.  
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් අද ඉල්ලා සිටියේ මෙම නෞකා පැමිණෙනතුරු ඩීසල් පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදු කරන ලෙසයි. කොතෙකුත් ඉල්ලීම් කර තිබුණද අදත් දිවයිනේ බොහෝ පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණා. 

මේ හේතුවෙන් රථ වාහන ධාවනයට පවා එල්ලවූයේ දැඩි බලපෑමක්. මාර්ගයේ ගමන් කළ ඇතැම් පිරිස්වලට මෙම රථ වාහන තදබධය හේතුවෙන් පැයකට ආසන්න කාලයක් නිකරුණේ ගෙවා දැමීමට සිදු වුණා.



මේ වන විට පවතින විදුලි අර්බුදයට හේතුවී ඇත්තේ ද ඉන්ධන අර්බුදයයි. ඉන්ධන නොමැතිව දැනටමත් බලාගාර රැසක් අක්‍රියවී තිබෙනවා. මෙවන් පසුබිමක කොළොන්නාව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට අද උද්ඝෝෂණයක් ද පැවැත්වුණා. ඒ, සංස්ථාව බංකොලොත් බව පවසා විකුණා දැමීමේ උත්සහයක් ඇතැයි චෝදනා කරමින්.


මේ අතරතුර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද පැවසුවේ ඩොලර් අඛණ්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවයි.



තමන් ද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන ඇපල්, මිදි සහ දොඩම් වෙනුවෙන් කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනියම භාවිත කිරීම බවයි අමාත්‍යවරයා පැවසුවේ.



ඉන්ධන නැව් නිදහස් කරගැනීමේ ප්‍රමාදය හේතුවෙන් ඉන්ධන තොග පහත බැසීමෙන් නව තොග ලැබෙන තෙක් ඉන්ධන සැපයුම සීමා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.