Tuesday, April 30, 2024

General line - 0115112241

හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී සමරයි




ලොව පුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත්‍රී දිනය සමරනවා. ඒ, ආධ්‍යාත්මික ශික්ෂණය උදෙසා උපවාසයෙන් හා නිදිවර්ජිතව රැය පහන් කරමින්. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පානදුර කන්දසාමි කෝවිලේ බ්‍රහ්ම ශ්‍රී ලක්ෂ්මි කාන්ත ජෙගදීෂ්වර් කුරුක්කල් තුමන්.

සියලු ලෝ වැසියන්ට යහපත් ලෙස ජීවත් වීමට අද දිනයේ ප්‍රාර්ථනා කරන බවයි පානදුර කන්දසාමි කෝවිලේ බ්‍රහ්ම ශ්‍රී ලක්ෂ්මි කාන්ත ජෙගදීෂ්වර් කුරුක්කල් තුමන් මෙහිදී කියා සිටියේ.

මේ අතර අදට යෙදී තිබෙන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශිව දෙවියන්ගේ මංගල්‍යය සංකේතවත් කරන විශ්වාසයන් සමස්ථ ලෝකවාසී ජනතාව තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කරවන අතර අවංක බව, ත්‍යාගශීලී බව සහ සමාව දීම යන සත්‍යවාදී ගුණයන් අනුව ජීවත් වීමට ආරාධනා කරන බවයි. මහා ශිව රාත්‍රියේ අධ්‍යාත්මික පණිවුඩය එකිනෙකා අතර සාමූහික බව තවදුරටත් ශක්තිමත් කරන බවද එහි සඳහන්.

මේ අතර අදට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. විවිධ ජනවර්ග හා ආගම් සමඟ එක්ව කටයුතු කිරීම තුලින් හින්දු බැතිමතුන්ට මෙන්ම රටට ද යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදාවන බවයි එහි දැක්වෙන්නේ. 

එවන් ශක්තිමත් අනාගතයක් උදෙසා ජීවත්වීමේ අභිලාශයන් නිවැරදිව මුදුන් පමුණුවා ගැනීමට මහා ශිව රාත්‍රී උපවාසය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. මහා ශිව රාත්‍රියේ උපවාසයේ යෙදෙන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.