Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රතිවිපාක වටහා ගැනීමට ප්‍රමාද වන්න එපා - යුක්‍රේනයට සහය දක්වන රටවලට රුසියාවෙන් අනතුරු ඇගවීමක්




යුක්‍රේන අර්බුදය හමුවේ බටහිර රටවල හා යුරෝපා රටවල ක්‍රියාකලාපය මගින් රුසියාව උදහසට ලක් කර තිබෙනවා. 

එහි ප්‍රථිපලයක් ලෙස රුසියාව, අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ යුරෝපා සංගමය වෙත ප්‍රභල අනතුරු ඇගවීමක් නිකුත් කළා. 

ඒ අනුව රුසියාව පවසන්නේ යුක්‍රේනයේ පවතින යුදමය තත්ත්වයට මැදිහත්වී යුක්‍රේනයට සහය දැක්වීමෙන් අත්විදීමට සිදුවන බරපතල ප්‍රතිවිපාක වටහා ගැනීමට ප්‍රමාද නොවන ලෙසයි. 

යුක්‍රේන අර්බුදය පදනම් කර ගනිමින් අමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් රුසියාවට දිගින් දිගටම සම්බාධක පැනවීම මෙන්ම එම රටවලින් යුක්‍රේනය වෙත යුද ආධාර ලබාදීම හේතුවෙන් රුසියාව දැඩිව කෝපයට පත්ව සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ යුරෝපා සංගමයට අයත් රටවල මෙම ක්‍රියාකලාපය හමුවේ එම රටවලට ද ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව හා යුක්‍රේනයේ ඇතිවන බරපතල තත්ත්වයන්ට ද වගකීම භාර ගැනීමට එම රටවලට සිදු වනු ඇතැයි රුසියාව අවධාරණය කළා.

කෙසේවෙතත් යුරෝපා සංගමයට අයත් රටවල් සහ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මේ වනවිටත් යුක්‍රේනයට අවි ආයුධ රැසක් ලබා දී ඇති බවත්, තවදුරටත් අවි ආයුධ ලබා දෙමින් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි දිනපතා  බටහිර සහ යුරෝපා නායකයින් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් යුධ ආධාර ඉල්ලා සිටින බවයි. 

ඔහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොහ්සන වෙත යුධමය උපකරණ ලැයිස්තුවක් යොමු කර ඇති බවද වාර්තා වනවා.
ඒ අනුව ඉදිරි පැය කිහිපය ඇතුලත පෝල්න්තය හරහා යුක්‍රේනය වෙත අවි ආයුධ තොගයක් යොමු කරන බවයි බි්‍රතාන්‍ය පවසන්නේ.

මේ අතර යුක්‍රේන අර්බුදය පදනම් කර ගනිමින් යුරෝපා සංගමය ද  මින් පෙර සිදු නොකළ පරිදි රුසියාවට එරෙහි වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ඒ අනුව යුක්‍රේනයට ආයුද සහ මූල්‍යමය සහයෝගය ලබා දීමට යුරෝපා සංගමය තීරණය කළ අතර රුසියානු ගුවන් යානා සදහා සිය ගුවන් කලාපය වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා. 

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සිය රටට එම සංගමයේ සාමාජිකත්වය ලබා දෙන ලෙසයි. 

එහෙත් ඒ සදහා යුරෝපා සංගමය මෙතෙක් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නැහැ. යුරෝපා සංගමයට නව සාමාජිකයෙකු එක් කර ගැනීම සදහා එම සංගමයේ ඇතැම් සාමාජික රටවල් විරුද්ධ බවයි යුරෝපා සංගමයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.