Monday, April 29, 2024

General line - 0115112241

පුටින්ට වෙඩි තියන්න - අමෙරිකාව රුසියානුවන්ගෙන් ඉල්ලයි




රුසියාවේ සිටින කුමන හෝ පුද්ගලයෙක් එරට ජනාධිපති වැලැදිමීර් පුටින්ට වෙඩි තබා ඝාතනය කරන්නැයි අමෙරිකානු සෙනට් සභික සින්ඩ්සේ ග්‍රැහැම් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව පුටින් ඝාතනය විය යුත්තේ ජුලියස් සීසර් ඝාතනය වූ ආකාරයට බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ. 

රුසියාව තුළ කවුරුන් හෝ බෲටස් කෙනෙකු සිටීදැයි අමෙරිකානු සෙනට් සභික සින්ඩ්සේ ග්‍රැහැම් එහිදී විමසීමක් කර තිබෙනවා. ජර්මනියේ හිටපු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කිරීමට උත්සහ කළ හමුදා නිලධාරියාට වඩා සාර්ථක හමුදා නිලධාරියෙකු හෝ රුසියාවේ සිටීදැයි අමෙරිකානු සෙනට් සභික සින්ඩ්සේ ග්‍රැහැම් සිය ට්විටර් පණිවිඩය මගින් විමසීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පැවසුවා. 

ඔහු මෙලෙස ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත්තේ රුසියානු හමුදාව විසින් යුක්රේනයට අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර හමුවේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර යුක්රේනයේ පිහිටි යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සෙපෝසියා බලාගාරය රුසියානු හමුදාව විසින් අත්පත් කර ගෙන ඇතැයි යුක්රේනය තහවුරු කළා. ඒ, රුසියානු හමුදාව විසින් එම බලාගාරය ඉලක්ක කර එල්ල කළ ප්‍රබල ප්‍රහාරවලින් අනතුරුවයි. 

කෙසේවෙතත් බලාගාරය ඉලක්ක කර එල්ල කෙරුණු ප්‍රහාර මාලාව හේතුවෙන් මේවනවිට රුසියාව බටහිර සහ යුරෝපානු රටවල දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා. 

මේ අතර යුක්රේනයේ මරිපෝල් හා චර්නිව් යන නගර අල්ලා ගැනීම සඳහා ද  රුසියාව මේවනවිට දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. යුක්රේනයේ කිව් අගනුවර බලය අල්ලා ගැනීම රුසියානු හමුදාවේ ප්‍රධාන අරමුණ වී ඇති අතර ඒ සඳහා සැතපුම් 40 ක් පමණ දිගින් යුත් රුසියානු හමුදාවට අයත් සන්නද්ධ රථ පෙළ තවදුරටත් කිව් අගනුවර දෙසට පැමිණෙමින් තිබෙනවා.