Thursday, May 2, 2024

General line - 0115112241

තුවාලකරුවන් හා මළ සිරුරු ඉවත් කර ගැනීමටවත් අවස්ථාවක් දෙන්නැයි යුක්රේනය රුසියාවෙන් ඉල්ලයි




යුක්රේනයේ නගර 02 කට නිවේදනය කළ සටන් විරාමය කඩකෙරෙන සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව හා යුක්රේනය යන දෙපාර්ශවයෙන්ම චෝදනා එල්ල වනවා. යුක්රේනයේ මරිපෝල් සහ වොල්නෝව්කා නගරයට රුසියාව විසින් ඊයේ එලෙස සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ සිවිල් වැසියන්ට එම නගරවලින් පිටවීම සඳහායි. 

කෙසේවෙතත් මරිපෝල් නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කර ගැනීම යුක්රේනය විසින් මේවනවිටත් අත්හිටුවා ඇති අතර ඊට හේතුව වී ඇත්තේ එම නගරයට රුසියානු හමුදාව එල්ල කරන ශෙල් ප්‍රහාරයි. මරිපෝල් නගරය තුළ ප්‍රහාරක මෙහෙයුම් ආරම්භ කළ බව රුසියාව ද පිළිගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

මරිපෝල් නගරය තුළ පමණක් ලක්ෂ 4 ක පමණ පිරිසක් වාසය කරන අතර එම වැසියන් දින 05 ක සිට විදුලි බලය ඇණහිටීමෙන් පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම ඔවුන් ආහාර හා ජල අර්බුදයකට ද මුහුණ පා සිටින බවයි නගරාධිපතිවරයා පවසන්නේ. 

එවන් තත්ත්වයත් මත එම වැසියන් නගරයෙන් ආරක්ෂිතව ඉවත් කිරීම අභියෝගයක් බවත්, රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් ආහාර හා අනෙකුත් පහසුකම් නොමැතිව නගරය තුළම සිරවී සිටින බවත් නගරාධිපතිවරයා සමාජ මාධ්‍ය හරහා අනාවරණ කර තිබෙනවා. 

තුවාල ලැබූ පුද්ගලයින් හා මියගිය පුද්ගලයින්ගේ සිරුරු ද බොහෝ ඇති බැවින් රුසියාව විසින් එක් අවස්ථාවක් හෝ ලබාදෙන්නේ නම් තුවාලකරුවන්, මළ සිරුරු මෙන්ම දැනට ජීවත්ව සිටින පිරිස හෝ නගරයෙන් ඉවත් කර ගැනීමට හැකි බවයි නගරාධිපතිවරයා පැවසුවේ. 

පැය 24 ක් ඇතුළත හෝ එම අවම පහසුකම නොලැබුණහොත් සිවිල් වැසියන් මුහුණ පා ඇති තත්ත්වය තවත් දරුණු ව්‍යවසනයක් වනු ඇති බව ද ඔහු සඳහන් කළා. මේ අතර යුක්රේනයේ කිව් අගනුවරට සහ තවත් නගර කිහිපයකටම රුසියානු හමුදාවෙන් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල වන බව සඳහන්. 

යුක්රේනය තුළ ගුවන් යානා සඳහා තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කරන ලෙස යුක්රේන ජනාධිපතිවරයා බටහිර රටවලින් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටිනවා. ඊට ප්‍රතිචාර දක්වමින් බටහිර බලවතුන් පවසන්නේ යුදමය තත්ත්වය තවත් දරුණු කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවයි. මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි, වීඩියෝ තාක්ෂණය හරහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමග සාකච්ඡාවකට එක්වී තිබෙනවා. යුක්රේනය සඳහා තවදුරටත් අරමුදල් සැපයීමට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය කටයුතු කරනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ. 

මේ අතර යුක්රේනය තුළ පවතින යුදමය තත්ත්වය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. යුක්රේනය ඉල්ලා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක ආධාර මුදල සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බවයි එම අරමුදල සඳහන් කළේ. 

මේ අතර යුක්රේන අර්බුදය හේතුවෙන් මාස්ටර් කාඩ්පත් හා වීසා කාඩ්පත් මෙහෙයුම් ද රුසියාව තුළ සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.