Thursday, May 2, 2024

General line - 0115112241

යුක්රේනයේ රෝහලක සිරවුනු මව්වරුන් හා බිළිඳුන් මුදා ගැනීමට සීත කාලගුණය හරස් වන ලකුණු




යුක්රේනයේ මරිපෝල් නගරයේ පිහිටි මාතෘ හා ළමා රෝහලක් ඉලක්ක කර රුසියාවෙන් එල්ල වුණු ගුවන් ප්‍රහාර හමුවේ එම රෝහල් පරිශ්‍රයට දැඩි හානි සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ප්‍රහාරවලින් රෝහලට අයත් එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර තවත්  ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව ඇති බවයි.

ප්‍රහාර එල්ල වී අර්ධ වශයෙන් කඩා වැටී ඇති ගොඩනැගිලි තුළින් තුවාලකරුවන් පිටතට ගන්නා අයුරු විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුනා. ඒ අතර ගර්භණී මව්වරුන් මෙන්ම ළමුන් ද වනවා. ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී රෝහලේ සූතිකාගාරවල පවා මව්වරුන් සිට ඇති බවයි වාර්තා වන්නේ. 

මීට අමතරව ගර්භණී මව්වරුන් සහ කුඩා ළමුන් සැලකිය යුතු පිරිසක් ද ගුවන් ප්‍රහාර හමුවේ රෝහල තුළම මියගොස් ඇති බවයි මරිපෝල් බලධාරීන් පැසුවේ. කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර තවත් බොහෝ පිරිසක් සිරවී සිටින බව ද සඳහන්. එම පිරිස් අතර ගර්භණී මව්වරුන් හා ළමුන් ද සිටින බැවින් ඔවුන් මුදා ගැනීම සඳහා යුක්රේන හමුදාව දැඩි උත්සහයක නිරත වී සිටිනවා. 

බලධාරීන් පවසන්නේ මරිපෝල් නගරයට මේදිනවල සෙල්සියස් අංශක ඍණ 4 ක තරම් අධික ශීත කාලගුණයක් පවතින බවයි. එබැවින් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනම් නොකළහොත් ඔවුන් එම සුන්බුන් තුළම සිරවී අධික ශිතලෙන් මියයනු ඇති බවටයි මරිපෝල් බලධාරීන් බිය පළ කරන්නේ. 

කෙසේවෙතත් ඇතැම් විදෙස් වාර්තා පැවසුවේ රුසියාවෙන් එල්ල වන ගුවන් ප්‍රහාර හමුවේ රෝහලේ සිටි ගර්භණී මව්වරුන් රැසක් ගොඩනැගිලිවල පහළ මාලයේ රඳවා සිටි බැවින් ඔවුන්ගේ ජීවිත බේරී ඇති බවයි. කෙසේවෙතත් ප්‍රහාරයෙන් මියගිය පිරිස කොපමණද යන්න බලධාරීන් මෙතෙක් නිශ්චිතව අනාවරණ කර නැහැ. මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් වනතෙක් පුද්ගල මරණ නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවයි මරිපෝල් බලධාරීන් පැවසුවේ. 

මේ අතර එම ප්‍රහාරය රට තුළ සිදුවන ජන සංහාරය පෙන්නුම් කෙරෙන හොඳම සාක්ෂියක් බව යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පවසනවා. යුක්රේන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ යුද ගැටුම් හේතුවෙන් මරිපෝල් නගරය තුළ ළදරුවන් 3,000 ක් පමණ ආහාර හා ඖෂධ නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි. 

මේවනවිට මරිපෝල් නගරය ඉලක්ක කර රුසියානු හමුදාව අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඒ හමුවේ නගර වැසියන් සමූහ මිනීවලවල් තුළ මිහිදන් වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.