Thursday, May 2, 2024

General line - 0115112241

රුසියාව හා යුක්ක්‍රේනය අතර පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡා විසදුමකින් තොරව අවසන්




රුසියානු හා යුක්රේන විදේශ අමාත්‍යවරුන් අතර තුර්කියේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ යුද ගැටුම නතර කිරීමට හෝ මානුෂීය මෙහෙයුම් සම්බන්ධයෙන් අවසන් එකගතාවකට එළඹීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් හා යුක්රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා අසමත් වී ඇති බවයි. 

සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ යුක්රේන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ප්‍රහාර නතර කරන බවට හෝ කිව් හා මරිපෝල් නගරයේ සිරවී සිටින සිවිල් වැසියන් මුදා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඒ සම්බන්ධයෙන් පොරොන්දුවක් ලබාදීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා අපොහොසත් වූ බවයි. 

යුක්රේනය තුළ මේවනවිටත් ප්‍රකාශයට පත් කර ඇති මානුෂිය කොරිඩෝ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන්ට සහතික විය හැකි නමුත් රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවටයි යුක්රේන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේවෙතත් යුක්රේනය කිසිවිටෙක රුසියාවට යටත් නොවන බව ද යුක්රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් සාකච්ඡාවලට එක්වූ රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසන්නේ සිය රට යුක්රේනය ආක්‍රමණය නොකළ බවයි. සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට එල්ල වන චෝදනා ද රුසියානු විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළා. කෙසේවෙතත් රුසියාව විසින් යුක්රේනය තුළ හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේ ඉහළ නිලධාරීන් අතර පැවැති පළමු සාකච්ඡාව මෙයයි. එම සාකච්ඡා තුර්කියේ මැදිහත්වීමෙන් පැවැත්වුණා.